September 2, 2026

ගංවතුරෙන් ආපදාවට පත්වූ නේපාලයේ මුදාගැනීමේ සහ සහන මෙහෙයුම් කටය්තු සඳහා සහය වීමට ඉන්දියාවෙන් තවත්
මුදාගැනීමේ විශේෂඥයින් 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොමු කර තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ විශේෂිත උපකරණ ද සමඟ ත්‍රිශූලි බසාර් ප්‍රදේශය වෙත එම පිරිස ළඟා වී ඇති බවයි.

ඉන්දී. විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, නේපාල හමුදාව හා එක්ව ඔවුන් අද සිට තම මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.

නේපාලයට මුදාගැනීමේ සහ සහන ආධාර සැපයීම ඉන්දියාව විසින් තවදුරටත් සිදුකරන අතර, මානුෂීය ආධාර රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් පස්වන ගුවන් යානය ද අද කත්මණ්ඩු නුවර වෙත ළඟා විය.

එහි ප්‍රතිජීවක, වේදනා නාශක, ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ අනෙකුත් අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළු ටොන් 5.5ක පමණ වෛද්‍ය ආධාර තොගයක් අඩංගු විය. ඊට අමතරව, මෙහෙයුම් සඳහා අවශ්‍ය ටොන් 6කට වැඩි උපකරණ ප්‍රමාණයක් සමඟ අදාළ 11 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායම ද මෙම ගුවන් යානයෙන්ම පැමිණ ඇත. මෙම නවතම සහනාධාර තොගයත් සමඟ ඉන්දියාව මේ වන විට නේපාලය වෙත සපයා ඇති සමස්ත සහනාධාර ප්‍රමාණය ටොන් 74ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දීය උමං මුදාගැනීමේ කණ්ඩායම සිය මෙහෙයුම් පදනම ත්‍රිශූලි සිට සියබ්රූබේසි වෙත ගෙන ගොස් ඇති අතර, එමගින් මෙහෙයුම් සිදුවන චිලිමේ ප්‍රදේශය වෙත ළඟාවීමට ගතවන කාලය අවම කරගත හැකි බවයි. එම කණ්ඩායම නේපාල හමුදාව හා එක්ව චිලිමේ ප්‍රදේශයේ සෙවුම් මෙහෙයුම් අඛණ්ඩව සිදුකරයි. උමග තුළ පවතින දැඩි මඩ සහ බාධක මධ්‍යයේ වුවද මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා වැඩි බර යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් භාවිත කිරීමට හැකිවන පරිදි උමග වෙත ළඟාවීමට තාවකාලික මාර්ගයක් සකස් කිරීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

මේ අතර, ඩී.එන්.ඒ (DNA) සාම්පල පරීක්ෂා කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ඉන්දියාවෙන් පැමිණි මූලික වෝහාරික විද්‍යා කණ්ඩායම, නේපාලයේ විශේෂඥයින් හා එක්ව කත්මණ්ඩු නුවර පිහිටි රසායනාගාර දෙකක මේ වන විට තම පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇත.