March 17, 2026

කාබුල්හි පිහිටි ‘ඔමිඩ්’ ඇබ්බැහිවූවන්ගේ ප්‍රතිකාර රෝහලට පාකිස්ථානය එල්ල කළ ම්ලේච්ඡ ගුවන් ප්‍රහාරය ඉන්දියාව අඟහරුවාදා දැඩි ලෙස හෙළා දුටුවේය.

මෙම ප්‍රහාරයෙන් සිය ගණනක් මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම සාපරාධී ක්‍රියාවට වගකිවයුත්තන් ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ වගකීමට බැඳ තැබිය යුතු බව ඉන්දියාව අවධාරණය කළේය.

එමෙන්ම මියගිය අයගේ පවුල් වෙත සිය ශෝකය ප්‍රකාශ කළ ඉන්දියාව, ඇෆ්ගන් ජනතාව සමඟ සැමවිටම සහයෝගයෙන් සිටින බව ද සඳහන් කළේය.

අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයට අනුව, මාර්තු 16 වැනිදා රාත්‍රියේ කාබුල්හි ඔමිඩ් රෝහලට එල්ල වූ පාකිස්ථානයේ මෙම ම්ලේච්ඡ ප්‍රහාරය ඉන්දියාව නිසැකවම සහ දැඩි ලෙස හෙළා දකින බව ප්‍රකාශ කර ඇත.

“මෙය බියගුලු සහ හෘද සාක්ෂියට එකඟ නොවන ප්‍රචණ්ඩ ක්‍රියාවකි. හමුදා ඉලක්කයක් ලෙස කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි මධ්‍යස්ථානයක සිටි විශාල සිවිල් වැසියන් පිරිසකගේ ජීවිත මෙයින් අහිමි වී ඇත. පාකිස්ථානය දැන් උත්සාහ කරන්නේ සමූල ඝාතනයක් හමුදා මෙහෙයුමක් ලෙස හුවා දැක්වීමටයි,” යනුවෙන් එම නිවේදනයේ සඳහන් විය.

“පාකිස්ථානයේ මෙම දරුණු ආක්‍රමණශීලී ක්‍රියාව ඇෆ්ගනිස්ථානයේ ස්වෛරීභාවයට එල්ල කළ නිර්ලජ්ජිත ප්‍රහාරයක් මෙන්ම කලාපීය සාමය සහ ස්ථාවරත්වයට එල්ල වූ සෘජු තර්ජනයක් ලෙස හැඳින්විය හැකිය. මෙය පාකිස්ථානයේ පවතින නොසලකා හරින සුළු හැසිරීම් රටාව සහ සිය අභ්‍යන්තර අසාර්ථකත්වයන් වසන් කර ගැනීම සඳහා දේශසීමාවෙන් ඔබ්බට එල්ල කරන දරුණු ප්‍රචණ්ඩ ක්‍රියා මගින් උත්සාහ කරන ආකාරය මැනවින් පිළිඹිබු කරයි.”

“ලොව පුරා මුස්ලිම් ප්‍රජාව සාමය, ආවර්ජනය සහ දයාව ප්‍රගුණ කරන ශුද්ධ වූ රම්සාන් මාසය තුළ මෙම ප්‍රහාරය එල්ල කිරීම වඩාත් පිළිකුල් සහගත කරුණකි. රෝහලක් සහ එහි සිටින රෝගීන් හිතාමතා ඉලක්ක කිරීම සාධාරණීකරණය කළ හැකි කිසිදු ආගමක්, නීතියක් හෝ සදාචාරයක් ලෝකයේ නොමැත,” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් විය.