April 20, 2026

දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් සිය ඉන්දීය සංචාරයට සමගාමීව නවදිල්ලියේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු විය.

එහිදී දෙරටේ ආර්ථික හා උපායමාර්ගික සබඳතා ගැඹුරු කිරීම සඳහා ද්විපාර්ශ්වික වෙළඳාම දෙගුණයකින් පමණ වැඩි කිරීමට නායකයෝ දෙපළ ප්‍රතිඥා දුන්හ.

සැපයුම් දාම ශක්තිමත් කිරීම, වෙළඳපල ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ වැඩි ආයෝජන දිරිමත් කිරීම මගින් 2030 වන විට දෙරට අතර වෙළඳාම ඩොලර් බිලියන 27 සිට ඩොලර් බිලියන 50 දක්වා ඉහළ නැංවීමට ඉන්දියාව සහ දකුණු කොරියාව අපේක්ෂා කරන බව එහිදී අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.

”ඉන්දියාව සහ දකුණු කොරියාව ඔවුන්ගේ විශ්වාසදායක සබඳතා අනාගතවාදී හවුල්කාරිත්වයක් (futuristic partnership) දක්වා පරිවර්තනය කිරීමට සූදානම් වෙනවා,” යැයි ඔහු සඳහන් කළේය.

මෝදි සහ ලී අතර මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ, ඉරාන යුද්ධය හේතුවෙන් හටගෙන ඇති ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවය සහ සැපයුම් දාම බිඳවැටීම් මධ්‍යයේ දෙරටම සබඳතා ශක්තිමත් කර ගැනීමට උත්සාහ කරන පසුබිමක ය.

නෞකා තැනීම, ආරක්ෂක අංශය සහ කෘත්‍රිම බුද්ධිය (AI) වැනි අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික සහයෝගීතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට දෙපාර්ශවය එකඟ වූ බව ජනාධිපති ලී පැවසීය.

කාර්මික සහයෝගීතාව පුළුල් කිරීමටත්, උසස් නිෂ්පාදන මෙන්ම තීරණාත්මක ඛනිජ සම්පත් සහ න්‍යෂ්ටික බලශක්තිය වැනි සංවේදී ක්ෂේත්‍රවල වෙළඳාම සහ ආයෝජන ඉහළ නැංවීමටත් දෙරට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.