August 3, 2026

පසුගියදා පිලිපීනයේ මැනිලා නුවරදී පැවැත්වුණු 33 වැනි ‘ආසියාන්’ (ASEAN) කලාපීය සංසදයේ ඇමති මට්ටමේ හමුව අතරතුර අපේ විදේශ කටයුතු ඇමති විජිත හේරත්ට විශේෂ අමුත්තෙක් මුණගැසුණා. ඒ වෙන කවුරුත් නෙවෙයි, අන්තර්ජාතික දේශපාලන කරළියේ ප්‍රබල චරිතයක් වන රුසියානු විදේශ ඇමති සර්ගේ ලැව්රොව්.

දෙදෙනා අතර පැවැති සුහද කතාබහ අතරතුරදී ලැව්රොව් සිය අතීතයේ සොඳුරු මතකයක් අවදි කර තිබෙනවා. තමන්ගේ රාජ්‍යතාන්ත්‍රික සේවයේ මුල්ම කාලපරිච්ඡේදය ශ්‍රී ලංකාවෙන් ආරම්භ කළ බවත්, එකල තමන්ට හොඳින් සිංහල කතාකිරීමට පවා හැකිව තිබූ බවත් ඔහු මතක් කර ඇත්තේ මුහුණ පුරා හිනාවක් තබාගෙනයි. “මට දැන් සිංහල ටිකක් අමතකයි, ඒත් තවමත් වචන කිහිපයක් මතකයේ තියෙනවා” යැයි කියමින් රුසියානු විදේශ ඇමතිවරයා විජිත හේරත් සමගින් සුහදතාවය තව තවත් වැඩිකර ගෙන තිබෙනවා.

එපමණක් නොවෙයි, ලබන වසරේදී යෙදෙන ශ්‍රී ලංකා – රුසියානු රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 70 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට පියවර ගන්නා ලෙස මතක් කළ ලැව්රොව්, විජිත හේරත්ට රුසියාවේ සංචාරයකට පැමිණෙන ලෙසද නිල වශයෙන් ආරාධනා කර තිබෙනවා.

මෙම රාජ්‍යතාන්ත්‍රික හමුවීම් මාලාව අතරතුරදී ඇමති විජිත හේරත්, ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, ආසියාන් මහලේකම්වරයා ඇතුළු යුරෝපීය සංගමයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා.

කොහොමවුණත්, ලෝක බලවතෙකු වන රුසියාවේ ප්‍රබල විදේශ ඇමතිවරයා ලංකාවේ ඇමතිවරයා හමුවේ සිංහලෙන් මතකය අවදි කිරීම නම් ඒ මොහොතේ පැවැති නිල රාජ්‍යතාන්ත්‍රික වාතාවරණයට ලස්සන අසිරියක් එකතු කළාට සැකයක් නැහැ.