June 11, 2026

බිංගිරිය පොලිස් වසමට අයත් පාඩිවෙල ප්‍රදේශයේදී පසුගිය බදාදා (10) සිදුවූ පවුල් ආරවුලක් අතරතුරදී සැමියා විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් 61 හැවිරිදි කාන්තාවක් ඝාතනය වී තිබේ.

මෙම සිද්ධියෙන් අනතුරුව පාඩිවෙල ප්‍රදේශයේම පදිංචි 59 හැවිරිදි සැකකාර සැමියා පොලිසිය විසින් වහාම අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් බිංගිරිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ද මියගොස් ඇති බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම යුවළ අතර දීර්ඝ කාලයක සිට පැවැති පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිංගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.