June 6, 2026

ගොවීන් ගසාකමින් අයුතු ලාභ ලබන ජාවාරම්කරුවන්ට නීතියෙන් කිසිදු සමාවක් නොලැබෙන බව 2026.06.03 දින මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් තීන්දුවෙන් නැවතත් ඔප්පු වී තිබේ.

යූරියා (Urea) පොහොර කිලෝ 50 මිටිවල මුද්‍රණය කර තිබූ සටහන් මිල මකාදමා අලෙවි කිරීම සහ අලෙවියට ඉදිරිපත් කිරීම යන චෝදනාවලට වරද පිළිගත් මාතර ප්‍රදේශයේ පිහිටි ‘පෙරේරා ඇග්‍රෝ සෙන්ටර්’ (Perera Agro Center) වෙළෙඳසැලට සහ එම පොහොර බෙදාහරින ලද ‘AgStar PLC’ සමාගමට මෙලෙස දැඩි දඬුවම් නියම කෙරිණි.

අධිකරණ තීන්දුවට අනුව AgStar PLC සමාගමට රුපියල් 100,000 ක දඩයක් සහ මාස 3ක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරුණු අතර, පෙරේරා ඇග්‍රෝ සෙන්ටර්, මාතර අලෙවිසැලට රුපියල් 10,000 ක දඩයක් සහ මාස 1ක අත්හිටවූ සිරදඬුවමක් නියම කෙරිණි.

ඊට අමතරව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් වැටළීමේදී අත්අඩංගුවට ගත් යූරියා කිලෝ 50 පොහොර මිටි 179 ක්ම රාජසන්තක කිරීමටත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙය ගොවීන්ගේ මුදල් සූරාකෑම පමණක් නොව, වෙළඳපොළේ සාධාරණත්වයට එරෙහිව සිදුකරන බරපතළ වංචාවක් ලෙසද සැලකේ.