July 16, 2026

බංග්ලාදේශයේ ආර්ථික වර්ධන වේගය ඉදිරි 2027 මුදල් වර්ෂය වන විට 3.5% දක්වා මන්දගාමී වනු ඇති අතර, මධ්‍යකාලීනව එය 3% සීමාවෙන් ද පහළට ඇද වැටීමේ අවදානමක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අනතුරු අඟවයි.

බංග්ලාදේශ රජයේ ආරාධනයකට අනුව පසුගිය ජූලි 12 සිට 16 දක්වා ඩකා අගනුවර සිදුකළ නිල සංචාරයකින් අනතුරුව IMF නියෝජිත කණ්ඩායම මේ බව නිවේදනය කළේය.

පසුගිය පෙබරවාරි මාසයේදී බලයට පත් වූ අග්‍රාමාත්‍ය තාරික් රහමන්ගේ නව රජය, මීට පෙර ක්‍රියාත්මක වූ ඩොලර් බිලියන 5.5 ක IMF මූල්‍ය ඇපදීමේ වැඩපිළිවෙළේ ඇතැම් කොන්දේසි රටේ ප්‍රමුඛතාවන්ට නොගැලපෙන බව පවසමින් ඉන් ඉවත් වීමට පියවර ගත්තේය.

ඒ වෙනුවට බංග්ලාදේශය මේ වන විට නව මූල්‍ය පහසුකමක් අපේක්ෂා කරන අතර, ඊට අදාළ ඉදිරි නිර්ණායක පිළිබඳ සාකච්ඡා එළඹෙන මාස කිහිපය තුළ පැවැත්වීමට නියමිතය.

වත්මන් අභියෝගාත්මක ආර්ථික වටපිටාව හමුවේ, අදියර වශයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ ඇතුළත් නව වැඩපිළිවෙළක පොදු රාමුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවයම එකඟතාවකට පැමිණ ඇති බව බංග්ලාදේශ මුදල් අමාත්‍ය අමීර් ඛොස්රු මහමුද් චෞද්රි ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත්, මැදපෙරදිග පවතින නොසන්සුන්කාරී වාතාවරණය හේතුවෙන් බංග්ලාදේශයට තවදුරටත් දැඩි මූල්‍ය සහ උද්ධමනකාරී පීඩනයන්ට මුහුණ දීමට සිදුව ඇති බව IMF පෙන්වා දෙයි.

ලෝක වෙළඳපොළේ භාණ්ඩ මිල ඉහළ යෑම සහ සැපයුම් ජාල බිඳවැටීම නිසා උද්ධමනය නැවතත් ඉහළ ගොස් ඇති අතර, ආනයන හා සහනාධාර පිරිවැය ඉහළ යාම එරට ආර්ථිකයට දැඩි බරක් වී ඇත.

මීට අමතරව බංග්ලාදේශ බැංකු පද්ධතිය තුළ පවතින අර්බුදකාරී ස්වභාවය ද තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව IMF නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.