May 29, 2026

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන ඒකාබද්ධ පස්වැනි සහ හයවැනි සමාලෝචන සාර්ථකව අවසන් කිරීමෙන් පසු, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කරන ලද නිල එකඟතා ලිපිය ප්‍රසිද්ධියට පත් කර තිබේ.

2026 මැයි 13 වැනිදායින් යුත් මෙම ලිපියට ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අත්සන් තබා ඇත.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ඇති කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය මෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ඉදිරියට ගෙන යෑමට ඇති කැපවීම එහි විස්තර කර තිබේ.

එම ලේඛනයට අනුව, බදු ආදායම් එකතු කිරීමේ වර්ධනය, විදේශ සංචිත රැස් කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගතකරණ ප්‍රයත්නයන්ගේ සහයෝගය මත 2024 සහ 2025 යන වසර දෙකේදීම ශ්‍රී ලංකා ආර්ථිකය 5%ක වර්ධනයක් වාර්තා කර ඇත.

‘දිට්වා’ සුළි කුණාටුව සහ මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඇති වූ බලපෑම් හමුවේ තාවකාලික සහන පියවරයන් හඳුන්වා දුන්නද, මූල්‍ය අරමුදලේ ඉලක්ක සපුරා ගැනීමට රජය තවදුරටත් බැඳී සිටින බව එහි සඳහන් වේ.

රජය මෙහිදී කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.

ඒ අනුව ඉන්ධන සහ විදුලිය සඳහා පිරිවැය පරාවර්තනය වන මිල සූත්‍ර ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට රජය එකඟතාව පළ කර ඇත.

මෙරට පවුල් සහ ව්‍යාපාර මුහුණ දෙන පීඩනය අවම කිරීම සඳහා ලබා දී ඇති තාවකාලික සහනාධාර අයවැය සීමාවන් තුළ රඳවා ගන්නා අතර, ඒවා 2026 සැප්තැම්බර් මස අවසන් වන විට ක්‍රමයෙන් ඉවත් කිරීමට අපේක්ෂා කෙරේ.

රාජ්‍ය මූල්‍ය විනය සහ රාජ්‍ය ආයතනවල තිරසාරභාවය සුරකිමින්, අනාගතයේදී අවදානමට ලක්විය හැකි පිරිස් වෙත සහන සැලසීම ඉලක්කගත සුභසාධන වැඩසටහන් හරහා පමණක් සිදු කිරීමට පියවර ගැනේ.

මෙම ලිපිය මඟින් ශ්‍රී ලංකාව, ඒකාබද්ධ පස්වැනි සහ හයවැනි සමාලෝචන සඳහා IMF විධායක මණ්ඩලයේ අනුමැතිය සහ ඇමරිකානු ඩොලර් මිලියන 695ක පමණ මූල්‍ය වාරිකය මුදාහරින ලෙස ඉල්ලා තිබිණි.

ඒ අනුව ක්‍රියාත්මක වූ මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය 2026 මැයි 27 වැනිදා අදාළ සමාලෝචන අනුමත කරමින් එම මුදල් වහාම නිදහස් කිරීමට පියවර ගත්තේය.

මෙම නවතම වාරිකයත් සමඟ ශ්‍රී ලංකාවට මේ දක්වා අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ලැබී ඇති සමස්ත මූල්‍ය පහසුකම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 2.4ක් දක්වා ඉහළ යනු ඇත.