December 21, 2023

කලාකරුවන් තිදෙනකුට සහ කලාකාරිනියකට ඇගයීම් සම්මාන පිදීම සුදුසු බව රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව යෝජනා කළ නමුත් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායකගේ නියෝගයක් අනුව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය එම යෝජිත නාමයන් කපාහැර ඇතැයි රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සභාපති පරාක්‍රම නිරිඇල්ල චෝදනා කළේය.

ප්‍රවීන කලාකරු නාලන් මෙන්ඩිස්, සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, නාට්‍යවේදී කලයි චෙල්වම් සහ නීතිඥ ඩග්ලස් සිරිවර්ධන ඇතුළු පිරිසට ජිවිතයේ එක්වරක් පමණක් පිදෙන නාට්‍ය ගීත සම්මානය ඔවුන් නාට්‍ය කලාවේ උන්නතිය වෙනුවෙන් කළ මෙහෙය සළකාබලා ප්‍රදානය කළ යුතු බව රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය තීරණය කර ඇත.

ඔවුන්ගේ නිර්දේශ මත එම නාට්‍ය ගීත සම්මානය ලබාගැනීමට පැමිණෙන ලෙස ගෞරවනීයව දන්වා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියගේ අත්සනින් යුතු ලිපි යවා තිබුණද, පසුව නැවතත් ඇයගේම අත්සනින් යුතුව නීතිඥ ඩග්ලස් සිරිවර්ධනට ලිපියක් යවමින් සඳහන් කර ඇත්තේ, එක් අංශයකට එක් සම්මානයක් ලබාදීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බැවින් ඔහුට හිමිවිය යුතු සම්මානය ලබන වසරේ ලබාදෙන බවයි.

ඇමැතිවරයාට සහ අධ්‍යක්ෂවරියට ගැලපෙන ආකාරයට උපදේශක මණ්ඩලයේ නිර්දේශ සහ තීරණ අත්තනෝමතික ලෙස වෙනස්කිරීමට හැකිනම් තමන් ඇතුළු එම උපදේශක මණ්ඩලය සිටීම අවශ්‍ය නොමැති බව පරාක්‍රම නිරිඇල්ල මෙලෙස පැවැසුවේ රාජ්‍ය නාට්‍ය සම්මාන උළෙලේ දේශනයකට එක්වෙමිනි.

විශේෂත්වය වන්නේ, පරාක්‍රම නිරිඇල්ල ප්‍රකාශය විෂයභාර ඇමැති විදුර වික්‍රමනායක ඉදිරියේම ප්‍රකාශ කිරීමයි.

මෙවැනි කටයුතු තමන් නොයිවසන බවත්, තමන් වේදිකාවෙන් බසින මොහොතේ සිට රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලයේ සභාපතීත්වයෙන් සහ එහි සාමාජිකත්වයෙන් ඉවත්වන බවත් හෙතෙම සඳහන් කළේය.

ඔහු මෙම ප්‍රකාශය සිදුකළ අවස්ථාවේ සිට වේදිකාවෙන් බසින මොහොත දක්වාම ප්‍රේක්ෂකාගාරයෙන් අත්පොළසන් නද මෙන්ම අසුන්වලින් නැගිට ආචාර දැක්වීම එහිදී දැකගන්නට ලැබිණි

පහතින් දැක්වෙන්නේ හෙතෙම උත්සව සභාව අමතමින් සිදුකළ එම කතාවයි.