October 11, 2026

ක්‍රීඩාව දියුණු කළ හැකි වන්නේ නීති රීති පැනවීමෙන් නොව ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමෙන් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ ක්‍රිකට් ඇතුළු සියලු ක්‍රීඩා අංශවල පරිපාලනය සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින් පත් කර ගැනීම අත්‍යවශ්‍ය බවයි.

එසේ නොමැතිවුවහොත් රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය වර්තමානයේ පවතින මට්ටමට වඩා තවත් පහළ මට්ටමක් දක්වා ඇදවැටෙනු ඇති බවට ද මන්ත්‍රීවරයා එහිදී අනතුරු අඟවා සිටියේය.

රට තුළ සිටින නවක දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගත හැකි වන්නේ සුදුස්සන් ක්‍රීඩාවේ පරිපාලන අංශ වෙත ගෙන ඒමෙන් පමණක් බව ද පැවසූ මන්ත්‍රීවරයා එසේවුවහොත් රටින් ගිලිහී යන රන් පදක්කම් නැවත රටට ගෙන ඒමේ හැකියාව පවතින බව ද ප්‍රකාශ කළේය.

එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ නිර්දේශපාලනීකරණය වූ ගමනක් රටේ ක්‍රීඩාවට අවශ්‍ය බව සහ 2015 වසරේදී ආරම්භ වූ දේශපාලනයෙන් තොරවූ ක්‍රීඩාව යළි රට තුළ ස්ථාපිත කිරීමට සියලු පාර්ශව එක්ව කටයුතු කළ යුතු බවයි.