June 9, 2026

එංගලන්තය සහ නවසීලන්තය අතර ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැති පළමු ටෙස්ට් තරගයේ සහ පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති තුන්වැනි එක්දින තරගයේ තණතීරු ‘අසන්තුෂ්ටදායක’ (Unsatisfactory) මට්ටමක පවතින බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ.

ICC තණතීරු සහ පිටි නිරීක්ෂණ ක්‍රියාවලිය යටතේ මෙම ක්‍රීඩාංගණ දෙකටම එක් දඬුවම් ලකුණ (Demerit Point) බැගින් පැනවීමට ද පියවර ගෙන ඇත.

ලෝඩ්ස් පිටියේ පැවැති තරගයේදී පන්දුව අධික ලෙස දෝලනය වීම සහ එහි අසමාන උඩපැනීම හේතුවෙන් පළමු දිනයේදී කඩුලු 16ක් සහ දෙවැනි දිනයේදී කඩුලු 17ක් බිඳවැටුණු බව තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් සඳහන් කර ඇත.

“තණතීරුවේ ස්වභාවය නිසා එතැන පිත්තට වඩා පන්දුවට පැහැදිලි වාසියක් ලැබෙන අසමතුලිතතාවයක් තිබුණා” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර, ගඩාෆි ක්‍රීඩාංගණයේ තණතීරුව මන්දගාමී සහ පහත් එකක් (Slow and Low) වූ බැවින් ලකුණු රැස්කිරීම දුෂ්කර වූ බවත්, තරගයේ මුල් අවධියේ සිටම දඟපන්දු යවන්නන්ට ඉන් දැඩි සහායක් ලැබුණු බවත් තරග තීරක ග්‍රැහැම් ලැබ්රෝයි ප්‍රකාශ කර තිබේ.

ICCය විසින් මෙම වාර්තා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයට සහ පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයට යොමුකර ඇති අතර, මෙම සම්බාධකවලට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීම සඳහා ඔවුන්ට දින 14ක කාලයක් හිමිවේ.

මෙම ක්‍රීඩාංගණ දෙකටම මීට පෙර කිසිදු දඬුවම් ලකුණක් පනවා නොතිබීම විශේෂත්වයකි.

ICC රීතිවලට අනුව, ‘අසන්තුෂ්ටදායක’ මට්ටමේ තණතීරුවක් සඳහා එක් දඬුවම් ලකුණක් ද, ‘ක්‍රීඩා කිරීමට නුසුදුසු’ (Unfit) තණතීරුවක් සඳහා දඬුවම් ලකුණු 3ක් ද පිරිනැමේ.

මෙම දඬුවම් ලකුණු වසර පහක කාලයක් පුරා වලංගුව පවතී.

යම් ක්‍රීඩාංගණයක් දඬුවම් ලකුණු 6ක් රැස්කරගතහොත් මාස 12ක කාලයකටත්, දඬුවම් ලකුණු 12ක් රැස්කරගතහොත් මාස 24ක කාලයකටත් අන්තර්ජාතික ක්‍රිකට් තරග සත්කාරකත්වය දැරීමෙන් තහනමට ලක්වීමට සිදුවේ.