July 27, 2026

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය තමන් සමඟ දේශපාලන ඩීල් එකකට එළඹ ඇති බවට ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ කළ චෝදනාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සෘජුවම ප්‍රතික්ෂේප කරයි.

සිය X ගිණුමේ සටහනක් තබමින් විපක්ෂ නායකවරයා පෙන්වාදෙන්නේ, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීමේ රජයේ සැලසුම සාධාරණීකරණය කිරීමට නොහැකිව බලවේගයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී තමන්ට සහ නීතිඥ සංගමයට අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.

“මෙම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි වීම සඳහා මා නීතිඥ සංගමයට අල්ලස් දුන් බවට පාර්ලිමේන්තුවේ සිට චෝදනා කළා. මෙය කෙතරම් ලැජ්ජා නැති චෝදනාවක්ද? පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් පිටතට ඇවිත් මේ චෝදනාව නැවත කියන ලෙස මම අසිත නිරෝෂණ මන්ත්‍රීවරයාට අභියෝග කරනවා,” යනුවෙන් විපක්ෂ නායකවරයා සඳහන් කර ඇත.

මේ අතර, ජනමාධ්‍ය හමුවක් අමතමින් නිදහස් නීතිඥ සංගමයේ කැඳවුම්කරු මෛත්‍රී ගුණරත්නද මන්ත්‍රී අසිත නිරෝෂණ ඇතුළු ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ට විවෘත අභියෝගයක් එල්ල කළේය.

“රජීව් අමරසූරියට එරෙහිව මෙම චෝදනාව පිටතට ඇවිත් කරන ලෙස අපි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට අභියෝග කරනවා. පාර්ලිමේන්තුවෙන් පිටතදී මෙම චෝදනාව කළහොත් මාළිමාවේ මන්ත්‍රීවරුන්ගෙන් මිලියන ගණනක වන්දි අයකර ගැනීමට හැකියාව තිබෙනවා” යනුවෙන් මෛත්‍රී ගුණරත්න පැවසීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට නීතිඥ සංගමයේ සභාපතිවරයා මුල සිටම එකහෙළා විරුද්ධ වූ බවද මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් අවධාරණය කළේය.