December 20, 2023

කැබිනට් මණ්ඩලයේ අධිකරණ ඇමැතිවරයා ලෙස අලි සබ්රි පත්නොකරන ලෙස තමන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දුන් බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඊයේ අනාවරණය කළහ.

“මම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දැනුම් දුන්නා අලි සබ්රි ඔහුගේ කැබිනට් මණ්ඩලයේ අධිකරණ ඇමැති ධූරයට පත්නොකරන ලෙස. සබ්රි අධිකරණ ඇමැතිවරයා ලෙස පත්කිරීමට හිටපු ජනාධිපතිවරයා ගෙන ඇති පියවර ගැන බෞද්ධ භික්ෂුවක් මට අවවාද කිරීමෙන් පසුවයි මම එය කළේ” අගරදගුරු හිමියෝ ජනමාධ්‍ය හමුවකදී එලෙස සඳහන් කළහ.

“පාස්කු ඉරිදා ප්‍රහාරය සබ්‍රිට බලපෑම් කළ හැකි කිසියම් ආගමික කණ්ඩායමක් විසින් සිදුකරන ලද්දක් යැයි අප සිතූ නිසා මෙම පත්වීම ගැන මුලදී අපි කලබල වුණා. නමුත් මේ ප්‍රහාරය පිටුපස වෙනත් කුමන්ත්‍රණයක් තිබෙන බව දැනගත් පසු අපි අපේ ස්ථාවරය වෙනස් කළා” යැයි කාදිනල් හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

“පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව නැවත සොයාබැලීමට අනුකමිටුවක් පත් කිරීමත් සමඟ ගෝඨාභය රාජපක්ෂ ගැන මගේ විශ්වාසය නැති වී ගියා” උන්වහන්සේ පැවැසීය.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉන්දීය මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළ පරිදි ඔහුව හමුවීමට තම සභාව සූදානම් නැති බවද කාදිනල් හිමියෝ ප්‍රකාශ කළහ.

“චැනල් ෆෝ නාලිකාව සහ ජනාධිපති කොමිසම විසින් හෙළිදරව් කරන ලද කරුණු පිළිබඳව රජය පරීක්ෂණයක් සිදුකිරීමටත් , පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ මූලික විමර්ශන සිදුකළ නිලධාරීන් නව පරීක්ෂණ සඳහා සම්බන්ධ කර ගැනීමටත් රජයට අවශ්‍යයි. අපට අවශ්‍ය, සිදුවන ඕනෑම අනාගත පරීක්ෂණයක් විදේශීය නිරීක්ෂකයන් යටතේ සිදුකිරීමයි” උන්වහන්සේ තවදුරටත් පෙන්වා දුන්හ.