February 26, 2026

ගාසා සාම ක්‍රියාවලිය සඳහා සිය අඛණ්ඩ සහයෝගය දක්වන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබේ.

සිය ඊශ්‍රායල සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

එමෙන්ම ඔහු අවධාරණය කර සිටියේ මනුෂ්‍යත්වය කිසි විටෙකත් ගැටුමක ගොදුරක් නොවිය යුතු බවයි.

ජෙරුසලමේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති පුළුල් ද්විපාර්ශවික සාකච්ඡාවලින් පසුව ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෝදි පැවසුවේ ඉන්දියාවේ ආරක්ෂක අවශ්‍යතා බටහිර ආසියාවේ සාමය හා ස්ථාවරත්වය සමඟ සමීපව සම්බන්ධ වී ඇති බවයි.

ගාසා තීරයේ ගැටුම අවසන් කිරීමට ගන්නා උත්සාහයන් සඳහා නවදිල්ලියේ සහාය නැවත තහවුරු කළ බවත් අග්‍රාමාත්‍ය මෝදි පැවසීය.

එමෙන්ම ත්‍රස්තවාදයට එරෙහි ඔවුන්ගේ පොදු ස්ථාවරය අවධාරණය කළ නායකයින් දෙදෙනා කිසිඳු ආකාරයකින්, ඕනෑම ප්‍රකාශනයකින් එයට තැනක් නොමැති බව ද ප්‍රකාශ කළහ. ඉන්දියාව සහ ඊශ්‍රායලය ත්‍රස්තවාදයට සහ එහි ආධාරකරුවන්ට එරෙහිව නිරන්තරයෙන් උරෙන් උර ගැටී සිටින බවත් එය අඛණ්ඩව සිදු කරන බවත් අග්‍රාමාත්‍ය මෝදි පැවසුවේය.