April 4, 2024

මහජන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සඳහා විෂයයක් ලෙස ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාවට මානව හිමිකම් ඇතුළත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.

මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයකු වන මහාචාර්ය තයියමුතු තානරාජ් ඊයේ (3) පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ ජාතික අධ්‍යාපන ආයතනයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත්, අවශ්‍ය වෙනස්කම් සිදු කිරීම සඳහා මානව හිමිකම් කොමිෂන් සභාව මේ වන විට ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව මහාචාර්යවරයා පැවසීය.

විෂයයෙහි ඇති වැදගත්කම සැළකිල්ලට ගනිමින් මානව හිමිකම් ගුරු පුහුණු විෂය මාලාවට ද ඇතුළත් කරන බව ඔහු සඳහන් කළේය.

මානව හිමිකම් කොමිෂන් සභාව මේ වන විට පාසල් මට්ටමින් මානව හිමිකම් පිළිබඳ පුහුණු සැසි පවත්වමින් සිටින බවත් මෙවැනි සැසිවලින් පමණක් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත නොහැකි යැයි වැටහෙන බවත් ඔහු පැවසීය.

සිසුන්ට පමණක් නොව ගුරුවරුන්ට ද මානව හිමිකම් විෂයක් ලෙස ඉගැන්වීමෙන් ඵලදායී ප්‍රතිඵල ලබාගත හැකි බව මහාචාර්ය තානරාජ් සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ සුළුතර ප්‍රජාවන්, වතු කම්කරුවන් සහ සමලිංගික, ද්වීලිංගික, සංක්‍රාන්ති ලිංගික ප්‍රජාව වැනි ආන්තික කණ්ඩායම් මුහුණ දෙන ගැටලු පිළිබඳ මානව හිමිකම් කොමිසම ගැඹුරින් සොයා බලන බවයි.

අනෙකුත් වෘත්තිකයන්ගේ සහ වතු කම්කරුවන්ගේ ජීවන මට්ටම අතර ඇති සිතාගත නොහැකි පරතරය පෙන්වා දුන් මහාචාර්ය තානරාජ්, වතු කම්කරුවන්ගෙන් 90%ක් තවමත් සිටින්නේ දරිද්‍රතා රේඛාවේ පහළම බව සඳහන් කළේය.

මේ අතර, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් මහාචාර්ය ෆාතිමා ෆර්සානා හනිෆා කියා සිටියේ මානව හිමිකම් කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ඇතැම් ආන්දෝලනාත්මක සිදුවීම් පිළිබඳ වාර්තා සහ තවමත් ප්‍රකාශයට පත් නොකළ සමාජ ගැටලු පිළිබඳ වාර්තා කිහිපයක් මහජන අවධානය සඳහා ළඟදීම ප්‍රකාශයට පත් කරන බවයි.

ඒ අනුව 2018 වසරේ මහනුවර ප්‍රදේශයේ ඇති වූ සමාජ නොසන්සුන්තාව සම්බන්ධයෙන් කොමිසම සකස් කළ වාර්තාව ද ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ඇය සඳහන් කළාය.