July 21, 2026

රේගු පරීක්ෂණයකට අවශ්‍ය ප්‍රකාශයක් සටහන් කිරීමට අවශ්‍ය බවට කළ දැනුම්දීම අනුව පසුගිය 16 වැනිදා උදෑසන දෙපයින් ඇවිද ගෙන රේගු කාර්යාලයට ගිය සිය සේවාදායකයාට රේගු නිලධාරීන් එදින රාත්‍රිය වනතුරුම ජලය හෝ ලබානොදී දැඩි ලෙස ශාරීරික හා මානසික පීඩනයකට ලක්කර කුමක් හෝ වරදකට වරද පිළිගන්නා ලෙසට කළ බලපෑම් නිසා දැඩි ලෙස රෝගාතුරව දින ගණනාවක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදුවී ඇතැයි බොරැල්ල හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි කොටුව මහේස්ත්‍රාත් පසාන් අමරසේනට පෙන්වාදුන්නේය.

රේගු නිලධාරීන් විශාල පිරිසක් පසුගිය 8 වැනිදා බොරැල්ලේ පිහිටි සිය සේවාදායකයාගේ ව්‍යාපාරික ස්ථානයට කඩාපැන ආයතනයේ තිබූ පරිගණක යන්ත්‍ර, පරිපාලන අංශයේ තිබූ පොත්පත්, මුල්‍ය ගනුදෙනුවලට අදාළ පොත්පත් පමණක් නොව සිය සේවාදායකයාගේ ජංගම දුරකථනය පවා ඔවුන්ගේ භාරයට ගෙන මහ රෑ වනතුරුත් විමර්ශන සිදු කළ බවත් එහිදී අධිකරණයට පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා, පසුගිය 16 වැනිදා උදෑසන රේගු නිලධාරීන් හමුවීමට ගිය ඔහු රඳවාගෙන සිටින ස්ථානයක් පිළිබඳව තොරතුරු කිසිවක් අනාවරණය නොවීම නිසා වැඩිදුර විපරම් කළ අවස්ථාවේදී කොම්පඤ්ඤවීදිය පොලිස් භූමියේ නවත්වා තිබූ වාහනයක ඔහු රඳවාගෙන සිටියදී සොයාගැනීමට හැකි වූ බව ද පැවසීය.

එකී ව්‍යාපාරිකයාගේ හිතවතකු කළ දැනුම්දීම අනුව කොම්පඤ්ඤවීදිය පොලිසියට ගිය නීතිඥවරයකුට රේගු නිලධාරීන් භාරයේ වාහනයක් තුළ රඳවා සිටියදී ඔහු සොයාගැනීමට හැකි වී ඇති බවත්, ඒ වන විටත් දැඩි ලෙස රෝගී තත්ත්වයෙන් පසුවූ එම ව්‍යාපාරිකයාව එම නීතිඥවරයාගේ මැදිහත්වීම මත වහාම රෝහල්ගත කිරීමට පියවර නොගත්තේ නම් ජීවිතයට පවා හානියක් සිදුවීමට ඉඩ තිබූ බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වාදුන්නේය.

“කරලා තියෙන වැරදි මොනවාද කියලා ඔහේ දන්නවනේ. ඒ නිසා වරද පිළිගන්නවා. එතකොට අත්අඩංගුවට නොගෙන නිදහස් කරන්නම්” යැයි අධිකාරම් යන රේගු නිලධාරියා සිය සේවාදායකයාට තර්ජනය කර ඇති බවත්, එදින රාත්‍රියේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කර ලබාගත් නියෝගයක් ප්‍රකාරව මාළිගාකන්ද වැඩ බලන මහේස්ත්‍රාත්වරයකු සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පෙන්වාදුන්නේය.

රේගු නිලධාරීන් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරු ඇතුළත් කර යැයි ද, එහිදී අධිකරණයට පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා, එම සැකකරුව භාරගන්නා ලෙසට කළ ඉල්ලීම කොම්පඤ්ඤවීදිය පොලිසියේ නිලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නිසා මාළිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරයකු නිරීක්ෂණය සඳහා රෝහලට කැඳවා ඇති බවත්, සිය සේවාදායකයා එලෙස පීඩනයට ලක්කර ඇත්තේ එක්තරා ව්‍යාපාරික ආයතන තුනක් සතුටු කිරීමේ අරමුණින් බව මේ වන විට දැනගන්නට ලැබී ඇතැයි ද පැවසීය.

රේගු ආඥා පනත අනුව සිය සේවාදායකයාට එරෙහිව ඇත්තේ කුමන චෝදනාවක් දැයි නිශ්චිතව බී වාර්තාවල හෝ සඳහන් කර නොමැති බවත්, එහිදී අධිකරණයට පෙන්වාදුන් ජනාධිපති නීතිඥවරයා, එබැවින් ලබන 23 වැනිදා දක්වා නිශ්චිත චෝදනාවක් නොමැතිව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිය සේවාදායකයා ඇප මත මුදාහැරීමට නියෝගයක් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

තමන් ඇතුළු රේගු නිලධාරීන් එම සැකකරුට වරද පිළිගන්නා ලෙසට කිසිදු බලපෑමක් නොකළ බවත්, සාක්ෂි වසන්කිරීමට උත්සාහ දැරීමේ චෝදනාව හා සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට ඇති හැකියාව සලකා ඔහුව අත්අඩංගුවට ගත් බවත්, රේගු ආඥා පනත යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති දැයි අනාවරණය කරගැනීම සඳහා විමර්ශන සිදුකරනා බවත්, රේගුව වෙනුවෙන් පෙනීසිටි නිලධාරියා අධිකරණයට පැවසීය.

රේගු ආඥා පනතේ 127 ඒ වගන්තිය යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බව රේගු නිලධාරීන් විසින්ම අධිකරණය හමුවේ පිළිගෙන ඇති බැවින් සැකකරු මුදාහැරීමේ බාධාවක් අධිකරණයට නොමැති බව ද ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මෙහිදී දිඝර් ලෙස කරුණු දැක්වූ අතර, එම ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට (22දා) පස්වරුවේ නිකුත් කිරීමට අධිකරණය දින නියම කළේය.

නීතිඥ සුරංග විමලසේන, අජිත් ලොකු බණ්ඩාර, චමිර රණසිංහ, රොෂාන් අමරසේකර, ලලිත් අබේසේකර, හමිල් පාරිස් හා ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරල යන කණ්ඩායම ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමඟ ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සැකකාර ප්‍රීති ජයවර්ධන වෙනුවෙන් පෙනීසිටියේය.(දිවයින)