September 11, 2026

චීනයේ ෂැන්ඩොං පළාතේ නැව් තටාකාංගනයක නඩත්තු කටයුතු සිදු කරමින් තිබූ විදේශීය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 25 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුර සිදුවූ මොහොතේ අතුරුදන්ව සිටි බවට ප්‍රකාශ වූ 25 දෙනාම මෙම ගින්නෙන් මියගොස් ඇති බව පසුව තහවුරු විය.

රාජ්‍ය හිමිකාරීත්වය සහිත ‘චීන නැව් තැනීමේ සංස්ථාවට’ අයත් ‘කිංඩාඕ බේහයි’ තටාකාංගනයේදී මෙම හදිසි ගින්න හටගෙන ඇති බව ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.

ගින්න හටගන්නා අවස්ථාවේදී නෞකාව තුළ පුද්ගලයින් 42 දෙනෙකු සිට ඇත. ඉන් 12 දෙනෙකු කිසිදු හානියකින් තොරව මුදාගැනීමට හැකිවූ අතර, තුවාල ලැබූ තවත් 5 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පැවසේ.

‘සවුත් චයිනා මෝනිං පෝස්ට්’ පුවත්පතට අනුව, මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ලයිබීරියානු ලියාපදිංචිය සහිත Ocean Melody නමැති තොග භාණ්ඩ ප්‍රවාහන නෞකාවයි.

මෙම අංගණය පාලනය කරන කිංඩාඕ බේහයි ආයතනය, වාණිජ නැව් නිෂ්පාදනය මෙන්ම අලුත්වැඩියා කටයුතු පිළිබඳ ප්‍රමුඛ පෙළේ චීන සමාගමකි.

පසුගිය අගෝස්තු 13 වැනිදාද ෆුජියන් පළාතේ ‘සෙන්චුරි හුහායි’ නැව් තටාකාංගනයේ සිදුවූ ගිනිගැනීමකින් ගිනි නිවීම් භටයෙකු මියගිය අතර, එම සිදුවීමෙන් සති කිහිපයකට පසුව මෙම දෙවැනි මාරාන්තික අනතුර වාර්තා වීම විශේෂත්වයකි.