July 27, 2026

අධික ලෙස මත්පැන් පානය කර මෝටර් රථයක් පදවමින්, ස්ථාන දෙකකදී තරුණියන් දෙදෙනකු අනතුරට ලක්කර පළායෑමට උත්සාහ කළ හෝමාගම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස සේවය කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.

පොලිසිය සඳහන් කරන ආකාරයට මෙම අනතුරු දෙකම ජූලි 25 වන දින සිදුවී ඇත.

ඉන් පළමු අනතුර සිදුව ඇත්තේ, හයිලෙවල් මාර්ගයේ මීගොඩ ඉන්ධන පිරවුම්හල අසලදී ය.

දෙවැනි අනතුර වටරැක 20 වැනි සැතපුම් කණුව අසලදී සිදුව ඇත.

අනතුරුවලින් පසුව සැකකාර පොලිස් නිලධාරියා සිය මෝටර් රථයෙන් එම ප්‍රදේශයෙන් පළායෑමට උත්සාහ කර ඇති අතර, පසුව මීගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකරන ලද ශ්වාස විශ්ලේෂණ පරීක්ෂණයේදී, අදාළ නිලධාරියා අනතුර සිදුවන අවස්ථාවේ දැඩි ලෙස මත්පැන් පානය කර සිටි බව තහවුරු වූ බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර නීතිමය කටයුතු සඳහා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.