June 15, 2026

බටහිර ඉන්දීය කොදෙව් දේශයේදීම කොදෙව්වන් පරදවා ඓතිහාසික T20I ක්‍රිකට් තරගාවලි ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට තිබූ මහඟු අවස්ථාව අවසන් මොහොතේදී ගිලිහී ගියේය. දෙරට අතර පැවැති තෙවැනි සහ අවසන් තීරණාත්මක T20 තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 5ක තියුණු ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව, තරග 3කින් සමන්විත වූ T20 තරගාවලිය තරග 2-1ක් ලෙස කොදෙව්වන් සතු විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 6ම ලකුණු 111ක් තුළ බිඳ වැටී කණ්ඩායම අසීරු තත්ත්වයක පසුවිය. එහෙත්, ඉනිමේ බර කරට ගත් දුනිත් වෙල්ලාලගේ සහ වනිඳු හසරංග 7 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 28කදී ලකුණු 49ක වේගවත් සබඳතාවක් ගොඩනැඟූහ.

එහිදී දුනිත් වෙල්ලාලගේ සිය T20I දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් පන්දු 28කදී ලකුණු 43ක් රැස් කළ අතර, වනිඳු හසරංග පන්දු 13කදී ලකුණු 21ක් ලබා ගත්තේය. ඔවුන්ගේ සටන්කාමී ඉනිම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේ ප්‍රතිවාදීන්ට ලකුණු 170ක සටන්කාමී ඉලක්කයක් ලබාදුන්නේය.

ලකුණු 170ක ඉලක්කය හඹාගිය කොදෙව් ඉනිමේ මුල් කඩුලු 4ම ලකුණු 53ක් තුළ දවාගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තරගයේ පාලනය තමන් සතු කරගත්හ. කෙසේවෙතත්, ඉන් අනතුරුව පිටියේ එක්වූ ශර්ෆේන් රදර්ෆර්ඩ් සහ රොව්මන් පවෙල් 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 53කින් ලකුණු 81ක සබඳතාවක් ගොඩනඟමින් කොදෙව් ඉනිමට නව පණක් දුන්හ.

මෙම සබඳතාවය අතරතුර රදර්ෆර්ඩ් ලබාදුන් උඩපන්දු දෙකක් (2) ඒෂාන් මාලිංග සහ දසුන් ශානක අතින් ගිලිහී යෑම තරගයේ ඉරණම වෙනස් කළ ප්‍රධානතම සාධකය බවට පත්විය. ඉන් උපරිම ප්‍රයෝජන ගත් රදර්ෆර්ඩ් පන්දු 40කදී නොදැවී ලකුණු 53ක් ද, පවෙල් පන්දු 27කදී ලකුණු 33ක් ද රැස්කරමින් ශ්‍රී ලංකාව සතු වූ ජයග්‍රහණය ඈත්කර තැබූහ.

තරගයේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ දුෂ්මන්ත චමීරට එරෙහිව අනුකම්පා විරහිත ප්‍රහාරයක් දියත් කළ ජේසන් හෝල්ඩර්, එම පන්දුවාරය තුළ හයේ පහර 3ක් එල්ල කරමින් තරගය සම්පූර්ණයෙන්ම කොදෙව්වන් දෙසට හරවා ගත්තේය. ඒ අනුව අවසන් පන්දුවාරයට ජයග්‍රහණය සඳහා ඉතිරි වූයේ ලකුණු 6ක් පමණි.

අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කළ දසුන් ශානකගේ 4 වැනි පන්දුවේදී කොදෙව්වෝ සිය ජයග්‍රහණය සනිටුහන් කළහ. මෙහිදී ජේසන් හෝල්ඩර් පන්දු 5ක් වැනි කෙටි කාලයකදී හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 21ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කැපීපෙනෙන පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග පන්දුවාර 2කදී ලකුණු 17කට කඩුලු 2ක් දවාගත් අතර, මහීෂ් තීක්ෂණ (1/26) සහ දුනිත් වෙල්ලාලගේ (1/23) අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියේය.