June 4, 2026

ශ්‍රී ලංකාවේ සුපිරි හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග ලෝක මලල ක්‍රීඩා සංගමයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි මුල්ම ක්‍රීඩකයන් පස්දෙනා (Top 5) අතරට පිවිසෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.

මෑතකදී අන්තර්ජාතික තරගාවලි කිහිපයකදීම ඔහු දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ලෝක ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන දෙකක් ඉදිරියට පැමිණීමට ඔහුට හැකි වී ඇති අතර, එහිදී ලබාගත් සාමාන්‍ය දක්ෂතා ලකුණු 1,287ක් සමඟින් මෙම 5 වැනි ස්ථානය හිමිකර ගැනීමට ඔහු සමත්ව ඇත.

පසුගිය සඳුදා (01) මොරොක්කෝවේ පැවැති ‘රබාත් ඩයමන්ඩ් ලීග්’ (Rabat Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 85.97ක දුරක් හෙල්ල විසිකරමින් රිදී පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් වූ අතර, ඔහුගේ මෙම සුවිශේෂී දක්ෂතාවය ලෝක ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණීමට ප්‍රධාන වශයෙන්ම හේතුවිය.

මේ වන විට ජර්මනියේ ජූලියන් වෙබර් මෙම ලෝක ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන අතර, රුමේෂ් තරංග මෙම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන්ම සිටින ලොව විශිෂ්ටතම ක්‍රීඩකයන් පස්දෙනාගේ ප්‍රභූ කණ්ඩායමට මෙලෙස ඇතුළත් වී සිටියි.