March 9, 2026

ස්කොට්ලන්තයේ කාර්යබහුලම දුම්රිය ස්ථානයක් අසල ඇති ඓතිහාසික ගොඩනැගිල්ලක හටගත් ගින්නක් හේතුවෙන් ගොඩනැගිල්ල අර්ධ වශයෙන් කඩාවැටී ඇති බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය වාර්තා කළේ, ග්ලාස්ගෝ හි පිහිටි සිව්මහල් වාණිජ ගොඩනැගිල්ලක බිම් මහලේ හටගත් මෙම ගින්න නිවීමට ගිනි නිවන භටයන් විශාල පිරිසක් කැඳවා තිබු බවයි.

ගොඩනැගිල්ලේ ගෝලාකාර වහලය වටා තැඹිලි පැහැති ගිනිදැල් විහිදී යන අයුරුත් යන්ත්‍ර ආධාරයෙන් ප්‍රබල ජල ප්‍රහාර එල්ල කරන අයුරුත් දැක්වෙන දර්ශන ජනමාධ්‍ය මගින් ප්‍රචාරය විය.

ගින්න පාලනය කිරීම සඳහා නිලධාරීන් විශේෂ උපකරණ භාවිතා කළ අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් වාර්තා වී නොමැත.

ගින්න උපරිම මට්ටමේ පැවති අවස්ථාවේදී, උසස් තාක්ෂණික වාහන තුනක් සහ ජල ගලවාගැනීමේ කණ්ඩායමක් ඇතුළු ගිනි නිවන රථ 15 ක් එම ප්‍රදේශයට යොමුකළ බව ස්කොට්ලන්ත ගිනි නිවන සහ මුදාගැනීමේ සේවය පැවසීය.

ස්කොට්ලන්තයේ ප්‍රථම අමාත්‍ය ජෝන් ස්විනී මෙම ගින්න පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළකළ අතර, සහන සේවා කණ්ඩායම්වල කැපවීම අගය කරමින් X හි සටහනක් තබා තිබිණි.

”කරුණාකර සංචාරක උපදෙස් පිළිපදින්න, මෙම ප්‍රදේශයට පැමිණීමෙන් වළකින්න,’ යැයි ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

එඩින්බරෝ සහ ලන්ඩන් වෙත සෘජු සබඳතා පවත්වන ග්ලාස්ගෝ සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය දැනට වසාදමා ඇති අතර, දුම්රිය සේවාවලට දැඩි බාධා එල්ල වී ඇති බව බ්‍රිතාන්‍ය ජාතික දුම්රිය සේවය පවසයි.