April 8, 2024

අධි එන්ජින් ධාරිතාව සහිත යතුරුපැදි ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි කිරීම සඳහා වන නව රෙගුලාසි පිළිබඳ යෝජනාවක් රජය විසින් අනුමත කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන නිවේදනය කරයි.

ෆේස්බුක් ඔස්සේ පණිවිඩයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අබේගුණවර්ධන, මෙම යෝජනාව අනුමත කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැති ටිරාන් අලස් සහ ප්‍රවාහන ඇමැති බන්දුල ගුණවර්ධන යන අයට සිය කෘතඥතාව පළකර ඇත.

අධි එන්ජින් ධාරිතාවය සහිත යතුරුපැදි ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ආදායම ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් අත්‍යාවශ්‍ය අවශ්‍යතා සඳහා සමාන යතුරුපැදි මිලදී ගැනීම සඳහා යොදාගන්නා බව ඔහු වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ සහ යතුරුපැදි ලෝලීන්ගේ බහුවිධ ඉල්ලීම් මත ඉහළ එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා නව රෙගුලාසි සඳහා යෝජනාව ඉදිරිපත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන සඳහන් කරයි.

450CC සිට 1300CC දක්වා එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා විශේෂ රෙගුලාසි යටතේ අවසර ලබාදීම සුදුසු බව මන්ත්‍රීවරයා මීට පෙර යෝජනා කළේය.

මෙම යතුරුපැදි සඳහා විශේෂ පරීක්ෂණයකට යටත්ව රියදුරු බලපත්‍ර ලබාදීමට සහ දැනට පවතින වේග සීමාවන් වෙනස් කිරීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට ද යෝජනා කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවැසීය.