June 22, 2026

ගොඩක් අය හිතුවේ මේ පුංචි පැටවුන් දෙන්නට කවදාවත් එකිනෙකාගේ මුහුණ බලාගන්න ලැබෙන එකක් නැහැ කියලා. හැබැයි අලුත්ම වෛද්‍ය විද්‍යාත්මක හාස්කමකින් මුළු ලෝකයම හොල්ලන්න මේ පුංචි දියණියන් දෙන්නට පුළුවන් වෙලා තියෙනවා.

2023 අවුරුද්දේ නයිජීරියාවේදී ‘මර්සි’ සහ ‘ගුඩ්නස්’ කියන නිවුන් දියණියන් දෙන්නා උපන්නේ හිස්කබලෙන් බද්ධ වෙලයි. වඩාත්ම භයානක දේ වුණේ, ඔවුන්ගේ මොළයේ කොටස් සහ ප්‍රධාන රුධිර වාහිනී පවා එකිනෙකට තදින්ම බද්ධ වී තිබීමයි. මිලියන 2.5කින් එක් කෙනෙකුට වගේ සිද්ධ වෙන මෙවැනි උපත්වලදී දරුවන් දෙන්නම බේරගන්න එක ලේසි පහසු දෙයක් නෙවෙයි.

ඒත් පසුගියදා අබුඩාබි නුවර ෂෙයික් කලීෆා වෛද්‍ය නගරයේදී ලෝකයම මවිත කරපු ශල්‍යකර්ම මාලාවක් සිද්ධ වුණා. රටවල් 20කට අධික සංඛ්‍යාවක විශේෂඥ වෛද්‍යවරුන් 60කට වැඩි පිරිසක් මේ සඳහා එකතු වුණා. අදියර 4කින් සමන්විත වුණු මේ මුළු මෙහෙයුම සඳහා ගතවුණු කාලය පැය 40ක්.

මේ මෙහෙයුමේ විශේෂම දේ තමයි, ශල්‍ය වෛද්‍යවරුන් මෙයට පෙර කවදාවත් නොකරපු විදිහට කෘතිම බුද්ධිය (AI), 3D තාක්ෂණය, Virtual Reality (VR) සහ Augmented Reality (AR) කියන අති නවීන තාක්ෂණයන් පාවිච්චි කරලා, සැත්කම කරන්න කළින් ඒක කරන විදිහ පරිගණක අවකාශය තුළ පුහුණු වීම. ඒ වගේම දරුවන්ගේ හිස්කබල් නැවත සකස් කරන්න 3D-printed ටයිටේනියම් කොටස් පවා බද්ධකරලා තියෙනවා.

ප්‍රසිද්ධ ළමා ස්නායු ශල්‍ය වෛද්‍ය මහාචාර්ය නූර් උල් ඕවයිස් ජිලානි සහ බ්‍රිතාන්‍යයේ ‘Gemini Untwined’ අරමුදල මූලිකත්වය අරගෙන කරපු මේ සැත්කම 100%ක්ම සාර්ථක වෙලා තියෙනවා.

සැත්කමෙන් පස්සේ සම්පූර්ණයෙන්ම සුවය ලැබූ මර්සි සහ ගුඩ්නස්, දැන් තමන්ගේ ජීවිතයේ පළමු වතාවට එකිනෙකා දෙස මුහුණට මුහුණ බලාගනිමින් සිනාසෙන්නට පටන් අරන්. ඔවුන් මේ වන විට නයිජීරියාවේ පිහිටි තමන්ගේ නිවස බලා සුව සේ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

තාක්ෂණයේ දියුණුව නිසා ජීවිත දෙකක් බේරුණු හැටි ගැන ලෝකය පුරාම දැන් ලොකු කතාබහක් ඇතිවෙලා තියෙනවා.