July 17, 2026

මෙරට ඉන්ධන නිකුත් කිරීම සඳහා දැනට භාවිත වන QR කේත ක්‍රමවේදය මේ මොහොතේ ඉවත්කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ලෝක වෙළෙඳපොළ තුළ පවතින ඉන්ධන මිලෙහි අස්ථාවරත්වය සහ ගෝලීය දේශපාලන නොසන්සුන්තාව මීට ප්‍රධානතම හේතුව වී තිබේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර සඳහන් කළේ මෙම ක්‍රමවේදය තවදුරටත් ක්‍රියාත්මක කිරීම හරහා ක්ෂේත්‍ර කිහිපයක ස්ථාවරත්වයක් රැකගත හැකි බවයි:

එනම්, QR ක්‍රමවේදය හරහා මෙරට ඉන්ධන පරිභෝජනය පාලනය වන බැවින්, ඉන්ධන ආනයනය සඳහා වැයවන මෙරට සීමිත විදේශ විනිමය (ඩොලර්) සංචිතය ක්‍රමවත්ව කළමනාකරණය කර ගැනීමට හැකිවීම.

ලෝකයේ පවතින යුදමය තත්ත්වයන් තවදුරටත් උග්‍ර වුවහොත්, මෙරට තුළ නැවතත් ඉන්ධන හිඟයක් ඇතිවීම වැළැක්වීම සහ ජනතාව පෝලිම්වල රඳවා අපහසුතාවයට පත්නොකිරීම.

“වත්මන් යුදමය වාතාවරණය හමුවේ වුවද මේ දක්වා ශ්‍රී ලංකාවේ ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් එල්ල වී නැහැ. කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යා හැකි බැවින් අප ඒ පිළිබඳව නිරන්තර නිරීක්ෂණයෙන් පසුවෙනවා.” යැයි කළමනාකරණ අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් සන්ද්දහන් කරයි.

පවතින ගෝලීය අවදානම් තත්ත්වයන් හමුවේ වුවද මෙරට පාරිභෝගිකයන්ට අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම සඳහා සංස්ථාව සියලු පූර්ව ආරක්ෂිත පියවර ගෙන ඇති බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.