July 17, 2026

රුපියල් පන්සිය අනූහය ලක්ෂයකට අධික (රු. 59,679,900) ස්ථාවර තැන්පතුවක් උපයා ගත් ආකාරය හෙළිකිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා 3ක් යටතේ හිටපු නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය වන 98 හැවිරිදි ඩේසි ෆොරස්ට්ට එරෙහිව පවරා ඇති නඩුවේ චෝදනා පත්‍රය සංශෝධනය කරමින් ඉදිරියට පවත්වාගෙන යන බව පැමිණිල්ල ඊයේ (16දා) අධිකරණයට දැනුම්දුන්නේය.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මික සිංගප්පුලි ඉදිරියේ විභාගයට ගත් අවස්ථාවේදී, ඇප මත පසුවන විත්තිකරුවන් දෙදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.

මීට පෙර වෛද්‍ය නිර්දේශ මත ඩේසි ෆොරස්ට් වෙනත් නඩුවකින් මුදාහැරීමෙන් පසු, කුමන්ත්‍රණ චෝදනා යටතේ එක් විත්තිකරුවකුට (යෝෂිත රාජපක්ෂට) පමණක් නඩු පැවරිය නොහැකි බව පවසමින් විත්ති පාර්ශවය අභියාචනාධිකරණයට ප්‍රතිශෝධිත පෙත්සමක් ඉදිරිපත් කර තිබිණි. කෙසේවෙතත්, එම විරෝධතාව ප්‍රතික්ෂේප කර ඇති අභියාචනාධිකරණය, ‘කුමන්ත්‍රණ’ චෝදනා යටතේම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවත්වාගෙන යාමට නීතිමය අවසරය ලබා දී ඇති බව රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරා අධිකරණයට දැනුම්දුන්නේය.

කරුණු සලකා බැලූ මහාධිකරණය නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා යොමු කිරීමට තීරණය කළේය.

2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නඟා ඇති මෙම අධිචෝදනා ගොනු කර ඇත්තේ 2009 මාර්තු 31 සහ 2013 දෙසැම්බර් 12 අතර කාලය තුළ කොළඹ සහ තංගල්ල ප්‍රදේශවලදී සිදුකළ බැංකු තැන්පතු මුල් කරගනිමිනි.

නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර අධිකරණයේදී අනාවරණය කළේ, යෝෂිත රාජපක්ෂ: නාවික හමුදාවේ සේවය කරන සමයේ මසකට රුපියල් 73,000ක වැටුපක් ලබා ඇති අතර, ඔහු එම මුදල් ගිණුමෙන් ආපසු ගෙන නොමැති බව.

එසේම, ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාවක ලෙස සේවය කර ඇති අතර, ඇයගේ එකල මාසික වේතනය රුපියල් 300ක් පමණ වූ බවද හෙලිකෙරිණි.

මෙම නඩුව සඳහා රජයේ සාක්ෂිකරුවන් ලෙස ප්‍රභූන් සහ නිලධාරීන් රැසක් නම් කර ඇත.

හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ලුතිනන් කමාන්ඩර් ටී.ඒ.ඒ. අරන්දර ඇතුළු නාවික නිලධාරීන් 5 දෙනෙක් ප්‍රධාන සාක්ෂිකරුවන් අතර වේ.

වෙනත් සාක්ෂිකරුවන් වන්නේ, සුරකුම්පත් හා විනිමය කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.එස්. චන්ද්‍රසේකර ඇතුළු සාක්ෂිකරුවන් 103 දෙනෙකි.

නඩු භාණ්ඩ ලෙස විත්තිකරුවන්ගේ බැංකු ගිණුම් 4ක සාරාංශ, කොටස් වෙළෙඳපොළ ආයෝජන විස්තර, වත්කම් හා බැරකම් ප්‍රකාශ මෙන්ම රත්මලාන කෙකටිය පෙදෙසේ සහ ඇල්ල නිව් බර්ග් වතුයායේ ඉඩම් හා නිවාස මිලදී ගැනීමේ ලේඛන ඇතුළු ලේඛන 25ක් නම්කර තිබේ.

2018 වසරේදී ආරම්භ වූ මෙම විමර්ශන ගොනුවට අදාළව, වසර 7ක ඇවෑමෙන් පසු නීතිපති උපදෙස් මත ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා විසින් පසුගිය අප්‍රේල් 11 වැනිදා මහාධිකරණයේ චෝදනා ගොනුකර තිබිණි.

ඊයේ දින නඩු වාරය සඳහා පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ජයසිංහ පෙරේරාද, විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරු වන සම්පත් මෙන්ඩිස් සහ අනිල් සිල්වා යන පිරිස පෙනීසිටියහ.