July 24, 2026

2019 වසරේ වීරකැටිය පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවය සඳහා ලබාගත් විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු ගෙවීම පැහැරහැරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් මස 04 වන දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළේය.

ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට ප්‍රතිව්‍යුහගතකරණයකට ලක්වී ඇති බැවින්, ඊට අදාළ අනුප්‍රාප්තික සමාගම මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම්කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට අවසර ලබාදුන්නේය.

නීතිඥ විජිත කුමාර විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. පෙත්සම්කරු දක්වා සිටින්නේ 2019 වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා පැවැති මෙම විවාහ උත්සවය සඳහා අය විය යුතු විදුලි බිල රුපියල් 2,682,246.57ක් (රුපියල් ලක්ෂ 26කට අධික) වන බවයි.

එකල පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානකගේ ඉල්ලීම මත විදුලිබල ඇමතිවරයාගේ දැනුම්දීමෙන් මෙම විදුලි සැපයුම ලබාදී ඇති අතර, ඊට අදාළ ගෙවීම් රාජපක්ෂ පවුලේ සාමාජිකයන් විසින් සිදුකිරීමට නියමිතව තිබුණද මෙතෙක් එම මුදල ගෙවා නොමැති බවට පෙත්සමෙන් චෝදනා කර ඇත.

තමන්ගේ නිවසේ රුපියල් 7,390ක මාසික විදුලි බිල නොගෙවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමට කටයුතු කළ විදුලිබල මණ්ඩලය, මෙලෙස අතිවිශාල විදුලි බිලක් නොගෙවා තිබියදීත් වීරකැටිය නිවසේ විදුලිය විසන්ධි නොකිරීම නීතිය ඉදිරියේ සිදුවූ අසමාන සැලකීමක් බව පෙත්සම්කරු පෙන්වාදෙයි. මේ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය මගින් තහවුරු කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් දෙන ලෙසද ඔහු ඉල්ලා සිටියි.

කෙසේවෙතත්, මෙම විවාහ උත්සවයේ විදුලි බිලට අදාළ මුදල තමන් විසින් ගෙවා දැමූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මීට පෙර ජනමාධ්‍ය හමුවේ ප්‍රකාශ කර තිබිණි.