April 3, 2026

සෙනසුරාදා (4) දහවල් 12:00 ට පෙර රාජ්‍ය සේවා පත්වීම් සඳහා අයැදුම් කිරීමට අපොහොසත් වන පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවානොගන්නා බවත් ඔවුන්ගේ වත්මන් තනතුරු සහ වැටුප් අහිමි වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අවධාරණය කරයි.

“සෙනසුරාදා දහවල් 12:00ට පෙර අයැදුම් කිරීමට අපොහොසත් වුණොත්, ඔවුන්ට රජයේ සේවයට බැඳීමට නොහැකි වෙනවා. ඔවුන් වර්තමානයේ සිදුකරන සේවයද අවසන් වෙනවා. ඒවගේම ඔවුන්ගේ වැටුප් නතර කරනවා. ඉල්ලුම නොකරපු කිසිම කෙනෙක් රාජ්‍ය සේවයට ගන්න හැකියාවක් නැහැ” ඔහු පැවසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) විසින් දියත් කරන ලද සංකේත වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළ අතර, එය අසාධාරණ සහ දේශපාලනික උවමනාවන් මත සිදුකෙරෙන්නක් ලෙස අමාත්‍යවරයා විවේචනය කළේය.