September 27, 2026

ඌව පළාතේ දුරස්ථ සෞඛ්‍ය මධ්‍යස්ථාන සහ ප්‍රාදේශීය පරිපාලන කාර්යාල සඳහා ‘Starlink’ චන්ද්‍රිකා අන්තර්ජාල පහසුකම් ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් යෝජනා කර තිබේ.

2025 නොවැම්බර් 28 වන දින ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සිදු වූ ගංවතුර සහ නායයෑම් නිසා විදුලිය සහ සන්නිවේදන ජාල සම්පූර්ණයෙන්ම ඇනහිටීම මීට ප්‍රධාන හේතුව වී ඇත.

ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න සඳහන් කර ඇත්තේ, සන්නිවේදන පද්ධති බිඳවැටීම නිසා හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දැක්වීම සහ සම්බන්ධීකරණය අඩපණ වූ බවයි.

මෙම තත්ත්වය හමුවේ ප්‍රාදේශීය රෝහල් සහ හදිසි ප්‍රතිචාර කණ්ඩායම් තනි වූ අතර, රෝගීන් හදිසියේ වෙනත් රෝහල් වෙත මාරුකර යැවීමට හෝ සන්නිවේදනය කිරීමට නොහැකි වී තිබේ.

සුළිකුණාටුව හේතුවෙන් ඌව පළාතේ ප්‍රධාන පාලම් 6ක් ඇතුළුව මාර්ග පද්ධති විනාශ වූ අතර, පුද්ගලයන් 90,127 දෙනෙකුට සෘජුවම බලපෑම් එල්ල විය.

එමෙන්ම දිවයින පුරා සෞඛ්‍ය මධ්‍යස්ථාන 243 කට හානි සිදු වූ අතර බදුල්ල දිස්ත්‍රික්කයට ඉන් දැඩි බලපෑමක් එල්ල විය.

ස්ථාවර දුරකථන සහ ජංගම දුරකථන ජාල ක්‍රියා විරහිත වන අවස්ථාවලදී පවා සන්නිවේදනය පවත්වාගෙන යා හැකි මූලික විසඳුමක් ලෙස මෙම Starlink චන්ද්‍රිකා සබඳතාව ආපදා කළමනාකරණ සැලසුම්වලට ඇතුළත් කර ඇත.

මීට අමතරව, අධික වර්ෂාව ආරම්භ වන විටම ක්‍රියාත්මක වන පරිදි ප්‍රදේශීය මට්ටමේ සන්නිවේදන පෙරහුරු සහ හදිසි තොරතුරු වාර්තා කිරීමේ නව පද්ධතියක් ද පළාත් සෞඛ්‍ය බලධාරීන් විසින් හඳුන්වා දී තිබේ.

(The Sunday Morning)