June 1, 2026

ලෝක මට්ටමින් ව්‍යාප්ත වන ඉබෝලා වෛරසය සහ මෙරටින් වාර්තා වන මෙනින්ජයටිස් රෝගී තත්ත්වයන් කෙරෙහි සෞඛ්‍ය බලධාරීන්ගේ විශේෂ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද (01) ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, මෙරට මෙනින්ජයටිස් රෝගය පාලනය කිරීම සඳහා පළමු දින සිටම අවශ්‍ය පියවර ගෙන ඇති බවයි.

වෙසක් දන්සල් ආශ්‍රිතව උණුසුම් පාන වර්ග ලබාදෙන ලෙස උපදෙස් දුන්නේ ද මෙම රෝග ව්‍යාප්තිය වැළැක්වීමට බවත්, දැනට එය යම් දුරකට පාලනය කර ඇති නමුත්, දරුවන්ට ඉන් වැඩි බලපෑමක් ඇති බැවින්, ජනතාව දිගින් දිගටම අවධානයෙන් සිටිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

මීට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති ඉබෝලා වෛරසය පිළිබඳව වසංගත රෝග විද්‍යා අංශය නිරන්තර අවධානයෙන් පසුවන බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශයේ විශේෂඥ වෛද්‍ය තුෂාරි දාබරේරා කියාසිටියේ, එබෝලා වෛරසයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සූදානමින් සිටින බවයි.

රුධිරය හෝ ශරීර දියර මඟින් ව්‍යාප්ත වන මෙම වෛරසය වැළැක්වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධාන මාර්ගෝපදේශවලට අනුව දැනටමත් පෙරහුරුවක් පවත්වා ඇති බව ඇය සඳහන් කළාය.

විශේෂයෙන්ම කොංගෝව සහ උගන්ඩාව වැනි අප්‍රිකානු රටවලින් පැමිණෙන මගීන් ගුවන් තොටුපළ සහ වරාය පරිශ්‍රයන්හිදී නිරෝධායනයට ලක්කිරීමට උපදෙස් දී ඇති අතර, ආසාදිතයන් හඳුනාගතහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH) සූදානම් කර ඇත.

දැනට ව්‍යාප්ත වන ‘බුන්ඩිබුග්යෝ’ ප්‍රභේදය 50% ක මරණ අනුපාතිකයක් සහිත බැවින් එය ඉතා බරපතළ තත්ත්වයක් බව ද ඇය අනතුරු ඇඟවූවාය.