May 4, 2026

“අප්පච්චි උදේම පිහි­ය­කුත් අර­ගෙන වත්ත සුද්ද කරන්න යනවා කියලා ගෙද­රින් ගියා. ටික වෙලා­ව­කට පස්සෙ වත්තේ තියෙන අප්ප­ච්චිගේ බුලත් කොටුවේ වැඩ කරන අය ඇවිත් කීවා අප්පච්චි ලේ ගලන තුවාල සහි­තව වත්තේ වැටිලා ඉන්නවා කියලා.” යැයි මහාභාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර අධ්‍ය­ක්ෂ­ව­රයා ලෙස කට­යුතු කළ ඒ.එම්. රංග නිශාන්ත රාජ­පක්ෂගේ මරණ පරී­ක්ෂ­ණ­යේදී ඔහුගේ දිය­ණි­යක් සාක්ෂි ලබා දෙමින් පැව­සු­වාය.

මිය­ගොස් සිටින රංග නිශාන්ත රාජ­පක්ෂ දිය­ණි­යන් දෙදෙ­න­කුගේ පියෙකි. වැඩි­ම­හල් දිය­ණිය විශ්ව­වි­ද්‍යාල අධ්‍යා­ප­නය ලබන අතර, පහ­ළොස් හැවි­රිදි දෙවැනි දිය­ණිය පාසල් සිසු­වි­යකි. ඔහුගේ බිරිය ද පාසල් ගුරු­ව­රි­යකි. භාණ්ඩා­ගා­රයේ ඩොලර් මිලි­යන 2.5ක විශාල මුද­ලක් හැක­ර්ව­රුන් අතට පත්වීමේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩ තහ­න­ම­කට ලක්ව සිටි­යදී රංග රාජ­පක්ෂ මහතා තම නිවෙසේ ගෙව­ත්තේදී පසු­ගිය 30 වැනි දින පෙර­ව­රුවේ මර­ණ­යට පත්ව සිටි­යේය. මෙම සිදු­වීම ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට ලක්වූ සිදු­වී­මක් වූයේ එම මූල්‍ය වංචාව සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විම­ර්ශ­න­යක් සිදු කර­මින් සිටින අත­ර­වා­ර­යේදී ප්‍රධා­නම නිල­ධා­රි­යකු වශ­යෙන් සැල­කෙන සහ­කාර අධ්‍යක්ෂ රංග රාජ­පක්ෂ මේ ආකා­ර­යට මර­ණ­යට පත්වී­මය. මෙය සිය­දිවි හානි­කර ගැනී­මක් ද නැත්නම් ඝාත­න­යක් ද යන බර­ප­තළ ගැට­ලුව පොලිස් විම­ර්ශන අංශ­ව­ලට ද ඇතිව තිබිණි.

ඔහුගේ මර­ණය සම්බ­න්ධ­යෙන් පැවැති මරණ පරී­ක්ෂ­ණ­යේදී පහ­ළොස් හැවි­රිදි දිය­ණිය සාක්ෂි දෙමින් මෙසේද පවසා ඇත.

“අප්පච්චි මට කීවා වත්තට ගිහින් ඉක්ම­නින් එන්නම් කියලා. මම කීවා උදේට කාලා යන්න කියලා. කන්න පස්සේ එන්නම් කියලා තමයි අප්පච්චි වත්තට ගියේ. බුලත් කොටුවේ වැඩ කරන කෙනෙක් ඇවිත් කීවා අප්පච්චි වත්තේ වැටිලා ඉන්නවා කියලා. පසුව ඒ අය අප්පච්චි ඔස­වා­ගෙන ගෙද­රට අර­ගෙන ආවා. අප්ප­ච්චිගේ කකුල් දෙකෙන් ලේ ගලා­ගෙන ගිහින් තිබෙන බව මම ඒ වෙලාවේ දැක්කා. මම ඒ වෙලා­වේම අම්මට කතා කරලා මේ ගැන කීවා. මට හිතා­ගන්න බැහැ ඇයි එයාට මෙහෙම දෙයක් වුණේ කියලා. එයා අම්ම­ටයි අක්ක­ටයි මටයි හරිම ආද­රෙන් හිටියේ.”

මෙම කරුණු සහ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය මත ඔහුගේ මර­ණය සිය­දිවි හානි­කර ගැනී­මක් බවට අනා­ව­ර­ණය වී තිබේ. ඉම­හත් ආන්දෝ­ල­න­ය­කට ලක්වූ මෙම හදිසි මර­ණය සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේක­ම්ව­ර­යාගේ උප­දෙස් මත පත්කළ සිව් පුද්ගල විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය කමි­ටු­වක් විසින් පසු­ගිය සිකු­රාදා (1) කුලි­යා­පි­ටිය රෝහ­ලේදී එම පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදුකරනු ලැබිණි. කුරු­ණෑ­ගල ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය ඉලං­ග­රත්න බණ්ඩා, කුලි­යා­පි­ටිය ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය අජිත් ජය­සේන, අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය සම්පත් සේන­තුංග සහ නික­වැ­ර­ටිය මූලික රෝහලේ විශේ­ෂඥ අධි­ක­රණ වෛද්‍ය යූ.ඩී.ජී. දිසා­නා­යකගෙන් යුත් කණ්ඩා­යම එම පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදුකර තිබිණි. එම මරණ පරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව විශේ­ෂඥ වෛද්‍ය කමි­ටුවේ නිග­ම­නය වූයේ මෙම මර­ණය රංග රාජ­පක්ෂ විසින්ම සිදු කර­ගනු ලැබූ සිය­දිවි නසා­ගැ­නී­මක් වන බවයි. ඒ අනුව, මර­ණ­කරු කුඩා පිහි­ය­කින් තමන්ගේ පාද දෙකේ ප්‍රධාන බල නහර (Veins) සහ අතක ප්‍රධාන ලේ ධම­නි­යක් (Artery) කපා ගැනී­මෙන් සිදු වූ අධික රුධිර වහ­නය මර­ණ­යට හේතුව ලෙස එම වෛද්‍ය වාර්තා මඟින් තහ­වුරු කර තිබේ. සිය­ලුම විද්‍යා­ත්මක සාක්ෂි සහ පටක පරී­ක්ෂණ මත පද­නම්ව ඔවුන් මෙම තීන්දුව ලබා දී ඇත.

ඔහු වීර­ඹුව පිහිටි ඔහුගේ නිවෙසේ ගෙවත්තේ පව­ත්වා­ගෙන යන බුලත් වගා­වක් ආස­න්නයේ තිබෙන කෙසෙල් පඳු­රක් යටදී පිහි­ය­කින් තම අත් හා පාද කපා­ගෙන සිටි බව කියයි. රංග රාජ­පක්ෂ විසින් කර­ගෙන යනු ලබන බුලත් වගාවේ සේව­යට පැමිණි සේව­ක­යන් පිරි­සක් ඔහු ලේ ගල­මින් වැටී සිටින ආකා­රය මුලින්ම දැක ඇත. පසුව සේව­ක­යන් එක්ව ඔහු නිවෙ­සට රැගෙ­න­විත් ඒ බව නිවෙසේ සිටි ඔහුගේ දිය­ණි­ය­කට දැන්වී­මෙන් අන­තු­රුව ඇය ඒ බව තම මවට දැනුම් දී තිබේ. පසුව රංග රාජ­පක්ෂගේ බිරිය ඒ බව පොලී­සි­යට දැනුම් දීමෙන් අන­තු­රුව කුලි­යා­පි­ටිය මූල­ස්ථාන පොලී­සියේ නිල­ධා­රීන් පිරි­සක් පැමිණ සිද්ධිය සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කෙරිණි. තුවාල සිදුකර ගැනී­මට පාවිච්චි කර ඇති පිහිය ද ඔහුගේ නිවෙසේ භාවි­ත­යට ගනි­මින් තිබූ එකක් බවත්, එහි ලේ තැවරී තිබූ බවත් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී තිබේ.

සිදුව ඇති මුදල් වංචාව හේතු­වෙන් තමන්ගේ සේවය අත්හි­ටු­වී­මට ගෙන තිබූ තීර­ණය සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව මඟින් දින ගණ­නා­වක් අඛ­ණ්ඩව සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු දැඩි මාන­සික පීඩ­න­ය­කට ලක්ව සිටි බව මේ සම්බ­න්ධ­යෙන් සිදුකරන පොලිස් විම­ර්ශ­න­ව­ලදී ලැබී ඇති සාක්ෂි අනුව අනා­ව­ර­ණය වී තිබේ. මෙම සිදු­වීම හරහා ඔහුට තම බිරි­යට, දරු­වන්ට හා සමා­ජය හමුවේ මුහුණදීමට සිදු­වන ලැජ්ජාව පිළි­බ­ඳව ඔහු මර­ණ­යට පෙර දැඩි ලෙස සංවේදී වී සිටි බව පවුලේ සාමා­ජි­ක­යන් හා මරණ පරී­ක්ෂ­ණ­යේදී බිරිය සහ දිය­ණි­යක විසින් ලබා දී ඇති සාක්ෂි­ව­ලින් ද තහ­වුරු වී ඇත. ශ්‍රී ලංකා සැල­සුම් සේවයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රි­යකු වන රංග රාජ­පක්ෂ කුලි­යා­පි­ටිය මධ්‍ය මහා විද්‍යා­ලයේ ආදි සිසු­වකු වන අතර, ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ලයේ උපා­ධි­ධා­රි­යකු ද වේ. ඔහු මර­ණ­යට පත් වන විට පනස් හැවි­රිදි වියෙහි පසුවිය. දේහය පිළි­බඳ අව­සාන කට­යුතු පෙරේදා (2) පස්ව­රුවේ කුලි­යා­පි­ටිය වීර­ඹුව පොදු සුසාන භූමි­යේදී විශාල පිරි­ස­කගේ සහ­භා­ගි­ත්ව­යෙන් සිදුකෙරිණි.

(දිනමිණ)