April 20, 2024

නවසීලන්තයේ වෙලින්ටන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කිරීම ඉදිරි සතියේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඊට අදාළ කටයුතු සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල දූත පිරිසක් අප්‍රේල් 22 වැනිදා නවසීලන්තයට පිටත්ව යෑමට නියමිතය.

විදේශ අමාත්‍යාංශයේ එතෙර වත්කම් කළමනාකරණ හා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීපා සේරම්ගේ ප්‍රධානත්වයෙන් මෙම නියෝජිත පිරිස කටයුතු කරනු ඇත.

මෙම සංචාරයේදී දූත පිරිස නවසීලන්තයේ විදේශ කටයුතු සහ වෙළෙඳ අමාත්‍යාංශයේ නිලධාරීන් සහ අනෙකුත් අදාළ ආයතන සහ පාර්ශ්වකරුවන් සමඟ රැස්වීම්වල නිරත වීමට නියමිතව තිබේ.

වෙලින්ටන්හි මහ කොමසාරිස් කාර්යාලයක් පිහිටුවීමට අපේක්ෂාවෙන් විදේශ කටයුතු ඇමැති අලි සබ්රි විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් මෙම වසරේ ජනවාරි මාසයේදී ඇමැති මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

නවසීලන්තයේ සැළකිව යුතු ශ්‍රී ලාංකීය විදේශගත ප්‍රජාවක් සිටින අතර ඔවුන් වැඩි වශයෙන් වෘත්තිකයන් සහ සිසුන්ගෙන් සමන්විත වේ.

නේවාසික දූත මණ්ඩලයක් විවෘත කිරීම ප්‍රජාව වෙත ළඟා වීමට සහ වෙළඳ, අධ්‍යාපන, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ, සංචාරක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍රවල ශක්තිමත් සහයෝගීතාවයක් වෙනුවෙන් පහසුකම් සපයයි.

නවසීලන්තය 2021 දී ශ්‍රී ලංකාවේ නේවාසික දූත මණ්ඩලයක් විවෘත කරන ලද අතර එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයකි.