May 27, 2026

හැටන් – දික්ඔය ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී අද (27) අලුයම පළාගිය සැකකරු පැය කිහිපයක් ඇතුළත වතුයායක සැඟව සිටියදී යළි අත්අඩංගුවට ගැනීමට හැටන් පොලිසිය සමත් වී තිබේ.

දික්ඔය ප්‍රදේශයේ වෙළඳසැලකදී වයෝවෘද්ධ යුවළක් ඝාතනය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු ජූනි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියදී අසනීප තත්ත්වයක් පිළිබඳ කළ දැනුම්දීමකට අනුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (26) රාත්‍රියේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

මෙම සැකකරු අද අලුයම රෝහලෙන් පළාගොස් තිබූ අතර, ඔහුව සෙවීම සඳහා බන්ධනාගාර නිලධාරීන් සහ පොලිසිය එක්ව ඒකාබද්ධ මෙහෙයුමක් දියත් කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ හැටන් පොලිස් නිලධාරීන්, බොගවන්තලාව ‘ෆෙටරෙසෝ’ වතුයායේ සැඟව සිටි සැකකරු යළි අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.

එහිදී හැටන් දිස්ත්‍රික් විනිසුරු සහ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ සැකකරු එළඹෙන ජූනි මස 03 වැනිදා දක්වා නැවත රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙසයි.

මේ අතර, පොලිසිය හමුවේ පාපොච්චාරණයක් කර ඇති සැකකරු, තමන් මෙම ද්විත්ව ඝාතනය සහ මංකොල්ලකෑම සිදු කළේ සිය බිරිඳගේ පෙළඹවීම මත ඇය ලබාගෙන තිබූ ණය මුදලක් පියවීම සඳහා බව පිළිගෙන තිබේ.

එපමණක් නොව, තමන් කෙසේ හෝ බන්ධනාගාරයෙන් නිදහස් වී පැමිණි පසු, මෙම අපරාධය සිදු කිරීමට තමන්ව පොළඹවන ලද සිය බිරිඳව ද අනිවාර්යයෙන්ම ඝාතනය කරන බවට ඔහු හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් හමුවේ පවසා ඇත.

සැකකරු විසින් කරන ලද මෙම ප්‍රකාශයන්ගෙන් පසුව, ඔහුගේ බිරිඳගේ ආරක්ෂාව ද සලකා බලමින් වහාම ක්‍රියාත්මක වූ බොගවන්තලාව පොලිසිය, අද (27) දිනයේදී පොලිස් ස්ථානය වෙත වාර්තා කරන ලෙස ඇයට නියෝග කර තිබේ.