May 23, 2026

තමන්ට ලැබිය යුතු රුපියල් මිලියන 110කට අධික මුදලක් කිසිදු වලංගු හේතුවකින් තොරව වසරකට වැඩි කාලයක් තිස්සේ රඳවා තබාගෙන සිටින බව පවසමින් හජ් සංවිධායකවරුන් (Hajj Operators) පිරිසක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවට සහ හජ් කමිටුවට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම පැමිණිල්ලට අනුව, 2025 වසරේ හජ් වන්දනාව සඳහා වන්දනාකරුවන් 3,500ක් පමණ සහභාගි වී ඇති අතර, විශේෂ කූඩාරම් පහසුකම් (Special tent facilities) වෙනුවෙන් අමතර ගාස්තුවක් ලෙස එක් වන්දනාකරුවකුගෙන් සෞදි රියාල් 362 බැගින් අයකර ඇත.

අදාළ අමතර ගාස්තුව නොගෙවන්නේ නම්, වීසා නිකුත් නොකරන බව දෙපාර්තමේන්තුව දැනුම්දීම නිසා, වන්දනා ගමන බාධාවකින් තොරව සිදුකිරීම සඳහා එම මුදල ගෙවීමට තමන්ට සිදුවූ බවට සංවිධායකවරු චෝදනා කරති.

එහෙත්, එම මුදල් ගෙවා තිබියදීත් පොරොන්දු වූ පහසුකම් කිසිවක් ලබා නුදුන් බව ඔවුහු පවසති.

‘හජ් කමිටුවේ තීරණය පරිදි’ අදාළ මුදල් නැවත ආපසු ගෙවන බවට දෙපාර්තමේන්තුව අවස්ථා කිහිපයකදීම සහතික වුවද, මේ දක්වා කිසිදු මුදලක් ගෙවා නොමැති බව පැමිණිලිකරුවෝ වැඩිදුරටත් සඳහන් කරති.

හජ් සංවිධායකවරුන් වෙත ලැබිය යුතු මෙම මුදල් දෙපාර්තමේන්තුව විසින් සාපරාධී ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා කරන ඔවුන් කියාසිටින්නේ, මේ පිළිබඳව අවස්ථා කිහිපයකදීම කළ ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් ගැටලුව අල්ලස් කොමිසම වෙත යොමු කිරීමට තමන්ට සිදු වූ බවයි.

එමෙන්ම, මෙම ගැටලුව කඩිනමින් විසඳීමට අපොහොසත් වුවහොත්, ඉදිරියේදී හජ් වන්දනා සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට තමන්ට ඇති හැකියාවට ඉන් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවටද ඔවුහු අනතුරු අඟවති.