May 27, 2026

කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ පිහිටි ‘හරිත මාවත’ හරහා විදේශීය දුම්වැටි තොගයක් මෙරටට ජාවාරම් කිරීමට උත්සාහ කළ චීන ජාතික ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු නිලධාරීන් පැවසුවේ සැකකරුවන් වයස අවුරුදු 28 සහ 48 යන වයස්වල පසුවන දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මොවුන් දෙදෙනා අද ( 27) පෙරවරු 9.50 ට පමණ ක්වාලාලම්පූර් සිට පැමිණි ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL-319 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සැකකටයුතු මගීන් පරීක්ෂා කිරීමේදී, ඔවුන් රැගෙන ආ ගමන් මලු හතරක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ විදේශීය දුම්වැටි 50,200ක් අඩංගු කාටූන් 251ක් සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබේ.

මෙම දුම්වැටි තොගයේ දේශීය වෙළඳපල වටිනාකම රුපියල් මිලියන 75.30ක් වන බව රේගුව සඳහන් කරයි.

ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.