May 23, 2026

රට වෙනුවෙන් ජනතාව එක්වී අවසන් බැවින් දැන් සිදු කළ යුතු වන්නේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක්වීම බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු පැවසුවේ පක්ෂයේ නායකයින් දෙපළ එක්නොවුන හොත් ඔවුන් ඉවතට විසිවනු ඇති බවයි.

රට තුළ ප්‍රමාණවත් මුදල් ඇති බවත්, රුපියල ශක්තිමත් බවත්, ඕනෑම අභියෝගයක් භාර ගත හැකි බවත් මාර්තු 07 වනදා මහ බැංකු අධිපතිවරයා පැවසුව ද මාස 02 කට පසුව ඔහු සිදු කරන්නේ ඊට හාත්පසින් වෙනස් ප්‍රකාශයක් නම් එම ආයතනය සතු ස්වාධීනත්වයේ පවතින වටිනාකම කුමක්ද යන්න සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කරමින් මේ බව පැවසූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ මහ බැංකුව දැන් සිදු කරන්නේ බැංකු පද්ධතිය බංකොලොත් කිරීම බවයි.

”රුපියල අවප්‍රමාණය වීම සම්පූර්ණයෙන් තියෙන්නේ මහ බැංකුව අතේ. මම හිටපු මුදල් ඇමතිවරයෙක් වශයෙන් මේ වගේ ග්‍රහණවලට යොමුවෙලා තියෙන එකේ මම උත්තර දීලා තිබෙනවා ඒ සම්බන්ධයෙන්. හැබැයි ඒ කාලයේ අපි දුන්න උත්තරවලට විපක්ෂයක් වශයෙන් දුන්න උත්තර අද වලංගු නැතිවෙලා තියෙනවා. අපි එදා ප්‍රශ්නයක් තිබුනහම ප්‍රායෝගිකව උත්තර දුන්නා.” යනුවෙන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රකාශ කළේය.