July 3, 2025

දරුවන්ට බලපෑම් එල්ල කරන ප්ලාස්ටික් නිෂ්පාදන සම්බන්ධයෙන් රජය මාස දෙකකින් තීරණයක් ගන්නා බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ, දිනපතා ප්ලාස්ටික්වලට නිරාවරණය වීමෙන් ළමුන් අතර පිළිකා ඇති වන ආකාරය පිළිබඳව ලොව පුරා අවධානය යොමු වී ඇති බවයි.

දේශීය වෙළඳපොළේ සිදුකරන ලද අත්හදා බැලීම්වලින් මේ සම්බන්ධයෙන් ඉහළ අවදානම් තත්ත්වයන් වාර්තා වී ඇති බව ද ඔහු පැවසුවේය.

එබැවින් තවත් අමාත්‍යාංශ කිහිපයක් සම්බන්ධීකරණය කරමින් ඉදිරි මාස දෙක තුළ දැඩි තීරණයක් ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

ඔහු පෙන්වාදුන්නේ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය සහ කර්මාන්ත, පරිසර, අධ්‍යාපන අමාත්‍යාංශ සහ පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව මෙම තීරණයට එළඹෙන බවයි.

ප්ලාස්ටික් නිෂ්පාදන ආනයනය කරන්නන් සහ නිෂ්පාදකයන්ව මෙම බලපෑම් පිළිබඳව දැනුවත් කරනවා පමණක් නොව, දරුවන්ට සිදුවන අයහපත් බලපෑම් සහ එම භාණ්ඩ නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කළයුතු මාර්ගෝපදේශ පිළිබඳව ද ඔවුන් දැනුවත් කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

මේ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා කමිටුවක් පත්කරන බව පෙන්වාදුන් ඔහු පැවසුවේ, ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින පුද්ගලයන්ට ඔවුන්ගේ ගැටළු සහ යෝජනා එකී කමිටුව සමඟ බෙදාගැනීමට උනන්දු කරන බවයි.

එම කමිටු වාර්තාව පදනම් කර ගනිමින් රටේ දරුවන් සුරක්ෂිත කිරීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.