May 26, 2025

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉල්ලා සිටින්නේ, වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි සහ නිවාඩු දීමනා අඩුකිරීමට අදාළ නිවැරදි කරන ලද චක්‍රලේඛය සතියක් ඇතුළත නිකුත් කරන ලෙසත්, ඒ පිළිබඳව අවධානය යොමුනොකළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවට අනතුරු අඟවන බවත්ය.

GMOA ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ, ඊයේ පෙර පැවැති රැස්වීමකදී සංගමයේ විධායක කමිටුව මෙම තීරණයට එළඹුණු බවයි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකින් පසුව, ජනාධිපතිවරයා සිය දිමානා නැවත ලබාදීමට එකඟ වූ බවත්, පසුව අයවැය ලේඛනය සංශෝධනය කළ බවත්, ඒ අනුව, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මාර්තු 25 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඔහු පවසයි.

එම මාර්ගෝපදේශ මත පදනම්ව සෞඛ්‍ය අමාත්‍යාංශය අප්‍රේල් 28 වැනි දින චක්‍රලේඛයක් නිකුත් කළ බව වෛද්‍ය විජේසිංහ සඳහන් කරයි.

කෙසේවෙතත්, චක්‍රලේඛයේ අතිරේක රාජකාරි දීමනා සඳහා වැරදි ගණනය කිරීම් ඇතුළත් කර ඇති බවත්, මූලික හා තාක්ෂණික ප්‍රතිපත්ති කිහිපයක් උල්ලංඝනය කර ඇති බවත් ඔහු සඳහන් කරයි.

GMOA අප්‍රේල් 29 වන දින සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් හමුවී මේ සම්බන්ධයෙන් විරෝධතා මතු කළ බවත්, එහිදී අමාත්‍යාංශය වහාම නිවැරදි කරන ලද චක්‍රලේඛයක් නිකුත් කිරීමට එකඟ වූ බවත් ඔහු තවදුරටත් පෙන්වාදෙයි.

ජනාධිපතිවරයාගේ නියෝගය සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු සහතික ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම පිළිබඳව ඔහු ප්‍රශ්න කරන අතර, මෙම තත්ත්වයට බාහිර බලවේගවල බලපෑම් ඇති විය හැකි බවත්, ඒ සඳහා විමර්ශනයක් අවශ්‍ය බවත් සඳහන් කරයි.