August 1, 2026

තායිලන්තයේ බැංකොක් නුවර සිට ගුවන් භාණ්ඩ තොගයක් ලෙස මෙරටට එවා තිබූ ලෝහමය බහාලුම් තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 10.6කට අධික බරින් යුත් හෂීස් බවට සැකකෙරෙන මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම භාණ්ඩ තොගය 2026 ජූලි 24 වැනි දින ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL405 දරන ගුවන් යානයෙන් මෙරටට ගෙනවිත් තිබූ අතර, එය ත්‍යාග පාර්සලයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබී ඇත.

ජූලි 31 වැනි දින TRICO UPB ගබඩාවේදී බලය ලත් නියෝජිතයකු ඉදිරිපිට රේගු නිලධාරීන් විසින් අදාළ භාණ්ඩ තොගය පරීක්ෂා කර ඇත.

එහිදී ලෝහමය බහාලුම් තුළ සඟවා තිබූ පොලිතීන් පැකට් තුළ මත්ද්‍රව්‍ය පවතින බව නිරීක්ෂණය වී තිබේ.

අවසාන තක්සේරුවට අනුව, ගංජා, හෂීස් සහ හෂීස් තෙල් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය තොගයේ සම්පූර්ණ බර (ඇසුරුම් ද සහිතව) කිලෝග්‍රෑම් 10.608ක් වන අතර, එහි වීදි වටිනාකම රුපියල් මිලියන 106.08ක් (රුපියල් කෝටි 10.6ක්) පමණ වන බව ගණන් බලා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.