May 23, 2025

කුලියට ගත් ඊ-ස්කූටරයකින් පැරණි රෝම කෞතුක වස්තුවක් ප්‍රවාහනය කරමින් සිටි ජර්මානු සංචාරකයකු ඉතාලි පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පාද අතර කිලෝග්‍රෑම් 30ක කෞතුක වස්තුවක් තබාගෙන ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් 24 හැවිරිදි තරුණයා අත්අඩංගුවට ගෙන තිබුණේ අමෙරිකානු තානාපති කාර්යාලය අසල ඓතිහාසික වියා වෙනෙටෝ හිදීය.

රෝමයේ පුරාවිද්‍යා අධිකාරීවරයා මෙම කෞතුක වස්තුව ඓතිහාසික වටිනාකමක් ඇති එකක් ලෙස විස්තර කර තිබේ.

සංචාරකයා එය ‘සිහිවටනයක්’ ලෙස ලබා ගත් බව පවසා ඇති නමුත් ඔහු ඒ සඳහා යමෙකුට මුදල් ගෙවා තිබේද යන්න පැහැදිලි නැතැයි පොලිසිය පැවසීය.

‘සොරකම් කරන ලද සංස්කෘතික භාණ්ඩ ලබා ගැනීම’ සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට එරෙහිව චෝදනා එල්ල වී නොමැති නමුත් විමර්ශනය කරමින් සිටින බව පොලිසිය පැවසීය.

ඔවුන් ඔහුගේ නම හෙළිකර නැත.

පුරාවිද්‍යා විශේෂඥයන් එය ලබා ගත්තේ කොහෙන්ද යන්න තීරණය කිරීම සඳහා තවමත් කෞතුක වස්තුව අධ්‍යයනය කරමින් සිටී.

සංචාරකයන්ගේ මෙවැනි හැසිරීම් දිගු කලක් තිස්සේ ඉතාලි බලධාරීන්ට කරදරයක් වී ඇත.

මෑත වසරවලදී, ස්පාඤ්ඤ පඩිපෙළ දිගේ ඊ-ස්කූටර් සහ මැසෙරාටි පැදවීම, රෝම කොලෝසියම් හි අකුරු කැටයම් කිරීම සහ පොම්පෙයි හි පුරාණ නටබුන් තුළට මොපෙඩ් පැදීම සම්බන්ධයෙන් සංචාරකයන් අත්අඩංගුවට ගෙන තිබේ.

පෙබරවාරි මාසයේදී නවසීලන්තයේ සංචාරකයකුට ට්‍රෙවි දිය උල්පතට කිමිදීම සම්බන්ධයෙන් දඩ නියම කරන ලදී.

මෙම මස මුලදී, පුරාණ රෝම කොලෝසියම් වටා ඇති වැටක් මතට නැගීමට උත්සාහ කර ඇණ මත පැටළුණු අමෙරිකානු සංචාරකයකුට හදිසි ශල්‍යකර්මයක් පවා සිදුකර තිබිණි.