February 17, 2026

උතුරු හා නැගෙනහිර පළාත්වල අවතැන් වූ පවුල්වලට ස්ථිර නිවාස ඉදිකර ගැනීමට හැකිවන පරිදි මූල්‍ය ආධාර වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

2009 සිට පවුල් 277,167ක පුද්ගලයන් 919,450ක් ඔවුන්ගේ මුල් ගම්මානවල නැවත පදිංචි කර ඇත.

එහෙත්, 2026 ජනවාරි 1 වැනිදා වන විට, පවුල් 13,069ක් නිවාස හිමිකමක් නොමැතිව සිටින බව දත්ත පෙන්වා දෙයි.

මීට පෙර දුන් ආධාර, කුඩා නිවාස සඳහා රු. 900,000 සිට විශාල නිවාස සඳහා රු. මිලියන 1.5 දක්වා පරාසයක පැවතිණි.

ඉදිකිරීම් පිරිවැය ඉහළ යෑම සහ බොහෝ ප්‍රතිලාභීන්ගේ අඩු ආදායම්ලාභී තත්ත්වය සැළකිල්ලට ගනිමින්, පවුලේ ප්‍රමාණය නොසළකා වර්ග අඩි 550ක නිවසක් සඳහා වන ආධාර මුදල රුපියල් මිලියන 2 දක්වා ඉහළ නැංවීමට කැබිනට් මණ්ඩලය කටයුතු කර ඇත.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ඒ නැවත පදිංචි කරන ලද පවුල්වලට නියමිත ප්‍රමිතීන්ට අනුකූලව නිවාස ඉදිකර ඉහළ ජීවන තත්ත්වයක් පවත්වාගැනීම වෙනුවෙනි.