August 21, 2023

ජනතා විමුක්ති පෙරමුණ මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සමඟ යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කර ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව විසින් කරන ලද චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පසුගිය අගෝස්තු 12 වැනිදා ජනමාධ්‍ය හමුවකදී දුමින්ද නාගමුව සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඇමැතිවරයා විසින් අගෝස්තු 15 වැනිදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්‍ෂණය පැවැත්වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව තහවුරු කරන ආකාරයට මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒ අනුව විමර්ශන නිලධාරීන් දුමින්ද නාගමුව කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතයි.

මෑතදී පැවති ජනමාධ්‍ය හමුවකදී නාගමුව ප්‍රකාශ කලේය: “පසුගිය කාලයේ පවත්වපු සියලුම විරෝධතාවලට ප්‍රහාර එල්ල වී තියෙනවා. අලස් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් ඉන්නේ. අපි ජනතා විමුක්ති පෙරමුණට අභියෝග කරන්න කැමතියි එතුමාට විරුද්ධව වචනයක් පාර්ලිමේන්තුවේදී කියන්න කියලා. ඔවුන්ට එසේ කරන්න බැහැ. අලස් එක්ක යුරෝපීය දූපතක කරන ආයෝජන ගැන රටට කියන්න කියලත් අපි ආරාධනා කරනවා. එම ගනුදෙනුව මොකද්ද කියලා අපට කියන්න.”

ඇමැති ටිරාන් අලස් විසින් කරන ලද පැමිණිල්ලට ප්‍රතිචාර දක්වමින් දුමින්ද නාගමුව පසුගිය සතියේ කියාසිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරන විට ඊට අදාළ සාක්ෂි ඇතුළුව අදාළ කරුණු දැක්වීමට සූදානම් බවයි.