October 25, 2026

දකුණු ආසියාතික රටක් වන ශ්‍රී ලංකාව තුළට මහාපරිමාණ ආසියානු වංචනික කණ්ඩායම්වල (Scam Syndicates) සාමාජිකයන් ලෙස සැකකෙරෙන පිරිස් විශාල වශයෙන් ඇතුළු වී ඇති අතර, මේ වසරේදී පමණක් 1,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණද, කිසිදු සංක්‍රමණික සයිබර් වංචා නඩුවකට සාර්ථකව නඩු පැවරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව පොලිසිය පවසයි.

කළින් දැවැන්ත වංචා ව්‍යාපාර පැවැති සහ නීති විරෝධී ලෙස මිනිස් ජාවාරම් හරහා ලබාගත් ශ්‍රමිකයන් මත රඳා පැවැති කාම්බෝජය වැනි ගිනිකොනදිග ආසියානු රටවලින් පළා එන දහස් සංඛ්‍යාත වංචනික සේවකයන්ගේ ප්‍රධාන තේරීම බවට ශ්‍රී ලංකාව පත්වෙමින් තිබෙන බවට විද්වතුන් අනතුරු අඟවන අතරතුර මෙම අනාවරණය සිදු වී ඇත.

ගිනිකොනදිග ආසියාවේ වංචා මධ්‍යස්ථානවලට එරෙහිව මෙහෙයුම් ක්‍රියාත්මක වීමත් සමඟ, ප්‍රධාන වශයෙන් චීන සම්භවයක් සහිත මෙකී වංචනික කල්ලි මැඩගස්කරයේ සිට පැපුවානිව්ගිනියාව දක්වා වූ අවදානම් සහිත රටවල සිය මධ්‍යස්ථාන පිහිටුවීමට පෙළඹී ඇත.

දකුණු ආසියානු රටවල් අතරින්, ශ්‍රී ලංකාව “මහා පරිමාණ සයිබර් වංචා මධ්‍යස්ථානයක් බවට පත්වීමේ බරපතල අවදානමක” පසුවන බව සංවිධානාත්මක නීති විරෝධී කල්ලිවලට එරෙහි ගෝලීය සංවිධානය (GI-TOC) පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.

ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා පොලිසිය විසින් දිවයින පුරා සැකකටයුතු වංචනික මධ්‍යස්ථාන 27ක් වටලා පුද්ගලයන් 1,093 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වූට්ලර් ‘සංවිධානාත්මක ඛේදවාචක සහ දූෂණ වාර්තාකරණ ව්‍යාපෘතිය’ (OCCRP) සහ ‘සන්ඩේ ටයිම්ස්’ පුවත්පත වෙත පවසා තිබේ.

2025 වසරේදී අත්අඩංගුවට ගෙන තිබුණේ පුද්ගලයන් 26 දෙනකු පමණක් බවත්, ඊට පෙර වසරේ තවත් සැකකටයුතු වංචනිකයන් 573 දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ බවත් පැවසූ ඒ.එස්.පී. වූට්ලර්, මෙම අගය ඊට සාපේක්ෂව විශාල වර්ධනයක් බව පෙන්වාදෙයි.

විශාල ප්‍රසිද්ධියක් සහිතව සිදුකළ අත්අඩංගුවට ගැනීම් තිබියදීත්, ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් විදේශයන්හි සිටින පුද්ගලයන් මුලාකළ බවට සැකකෙරෙන කිසිවෙකුටත් “මෙතෙක් සාර්ථක ලෙස නඩුවක් පැවරීමට අපට හැකි වී නැත” යැයිද ඔහු පවසයි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇති පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා ඇත්තේ, 2007 වසරේ සිට ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ වත්මන් පරිගණක අපරාධ පනත යටතේ නඩුවක් පැවරිය හැක්කේ වින්දිතයකුගෙන් ලැබෙන පැමිණිල්ලක් මත පමණක් බවයි.

මෙසේ වංචාවට ලක්වන වැඩි පිරිසක් විදේශයන්හි ජීවත්වන බැවින් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ඉතා අල්පය. ඒ වෙනුවට, සැකකටයුතු වංචනිකයන්ගෙන් වැඩි පිරිසකට වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා නගා රටින් පිටුවහල් කරනු ලබන බව ඔහු වැඩිදුරටත් පවසයි.

“මෙවැනි අපරාධ ජාල ශ්‍රී ලංකාවෙන් තුරන් කර දැමීමට වත්මන් රජය ඉතා දැඩි උනන්දුවකින් කටයුතු කරනවා.” යැයි සහකාර පොලිස් අධිකාරී වූට්ලර් සඳහන් කර ඇත.