April 17, 2026

මහනුවර නගරයේදී පරණ අවුරුදුදා අලුයම පවුම් 04ක රන් මාලයක් කඩා උකස් කර එම මුදලින් සූදු කෙළ සවස්වරුවේ තවත් රන් මාලයක් කඩමින් සිටි යුද හමුදා සාජාන් මේජර්වරයෙකු, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව්දෙනකු විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 13 දා පෙරවරු 5.30 ට පමණ මහනුවර දුම්රිය ස්ථානය ආසන්නයේදී හිටපු සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ බිරිඳගේ පවුම් 04 ක රන් මාලය කඩාගෙන පළාගොස් තිබෙන අතර, ඔහු එය කොළඹ උකස් මධ්‍යස්ථානයකට ගොස් රුපියල් හාරලක්ෂ හැට දහසක මුදලකට උකස් තබා තිබෙන බව පොලීසිය පවසයි.

එම මුදලින් ඔන්ලයින් ඔස්සේ ක්‍රියාත්මක සූදු ක්‍රීඩාවක නිරතව පරාජය වීමෙන් පසු, යළිත් එදිනම මහනුවරට පැමිණ මහනුවර වැව රවුවේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ පවුම් තුනක රන් මාලය කඩාගෙන පළායෑමට උත්සහ කර ඇත.

කාන්තාවගේ කෑගැසීම ඇසී සැකකරු පසුපස තරුණයෙකු හඹාගොස් තිිබෙන අතර එම අවස්ථාවේ අලුත් අවුරුදු විශේෂ රාජකාරි වල නිරතව සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියන් සිව්දෙනෙකු වහා ක්‍රියාත්මක වී ඔහු අත්අඩංගුව ගැනීමට සමත්ව තිබේ.

පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙන්නේ, ඔන්ලයින් ක්‍රමයට ක්‍රියාත්මක සූදු ක්‍රීඩාවකට ඇබ්බැහි වී තිබෙන සැකකරු මොරවැව යුද හමුදා කඳවුරේ සාජන් මේජර්වරයෙකු ලෙස සේවය කරන බවයි.

ඔහු වත්තේගම උඩුරාවණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මහනුවර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 20 වැනිදා දක්වා ලබාගත් රැඳවුම් නියෝගයක් මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කරන බව පොලීසිය පවසයි.

එකම දින රන් මාල දෙකක් කඩාගෙන පළායෑමට උත්සහා කළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටයුතු කළ කාන්තා පොලිස් නිලධාරීන් සිව්දෙනා සහ තරුණයා කළ සේවය අගයමින් ඔවුන්ට රුපියල් 5000 බැගින් මුදල් ත්‍යාග ලබාදීමට පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.