May 28, 2026

ශ්‍රී ලංකාවට ආවේණික ජෛව විවිධත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, දුම්බර (නකල්ස්) කඳුවැටියේ පුවක්පිටිය නිම්නයෙන් නව මී විශේෂයක් විද්‍යාඥයන් විසින් සොයාගෙන තිබේ.

මෙම නව සත්ව විශේෂය විද්‍යාත්මකව ‘Mus dumbara’ ලෙස නම් කර ඇති අතර, ඉංග්‍රීසි භාෂාවෙන් ‘Dumbara Valley spiny mouse’ ලෙසත්, සිංහල භාෂාවෙන් ‘දුම්බර කටු හීන් මීයා’ ලෙසත් හඳුන්වනු ලබයි.

සුයාමා එච්. බෝයගොඩ, මාධව මීගස්කුඹුර සහ කැලුම් මනමේන්ද්‍ර-ආරච්චි යන පර්යේෂකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව, සත්වයාගේ බාහිර රූප විද්‍යාව, හිස්කබලේ ලක්ෂණ සහ DNA අනුක්‍රමණය පදනම් කරගත් ඒකාබද්ධ විශ්ලේෂණයකින් පසු මෙම සොයාගැනීම තහවුරු කර ඇත.

පර්යේෂකයන් පවසන පරිදි, මෙම සත්ව විශේෂය අනෙකුත් මීයන්ගෙන් වෙන්කර හඳුනාගත හැකි සුවිශේෂී ලක්ෂණ කිහිපයකින් සමන්විත වේ.

හිස සහ බඳෙහි මුළු දිගට වඩා දිගු වලිගයක් පැවතීම, මධ්‍යස්ථ ලෙස නෙරා ඇති අක්සි කූපීය රිජ් එකක් සහ උඩු හනුවේ පළමු ඇඹරුම් දතෙහි මධ්‍ය මට්ටම දක්වා විහිදෙන සුවිශේෂී හිස්කබල් සිදුරු ඒ අතර වේ.

ජානමය විශ්ලේෂණයන් මඟින් ද මෙම සත්වයාගේ අනන්‍යතාව තහවුරු වී ඇති අතර, ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙකුත් කටු හීන් මී විශේෂ වන ‘Mus mayori’ සහ ‘Mus fernandoni’ යන සතුන්ගෙන් සියයට 11කට වඩා වැඩි මයිටොකොන්ඩ්‍රීය DNA වෙනසක් පෙන්වමින් දැඩි ජානමය විවිධත්වයක් මෙම නව විශේෂය සතු බව අනාවරණ වී ඇත.

මාතලේ දිස්ත්‍රික්කයේ පුවක්පිටිය ප්‍රදේශයේ කුඹුරු ආශ්‍රිත වනාන්තර සීමාවක 2000 දශකයේ මුල් භාගයේදී සිදු කරන ලද කුඩා ක්ෂීරපායී සමීක්ෂණයකදී සොයාගත් සතුන් දෙදෙනෙකු ඇසුරින් මෙම නව විශේෂය හඳුනාගෙන තිබේ.

පසුව සිදුකළ පුළුල් ගවේෂණවලදී පවා මෙම විශේෂයට අයත් වෙනත් සතුන් හමු නොවීම නිසා, මෙම සත්ව විශේෂය ඉතා සීමිත භූමි ප්‍රදේශයකට පමණක් සීමා වී ජීවත් වන බවට විද්‍යාඥයෝ සැක කරති.

විද්‍යාඥයන් විසින් මෙම ‘Mus dumbara’ විශේෂය ‘Pyromys’ උප-ගණයට ඇතුළත් කර ඇති අතර, ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව පුරා වෙසෙන සබඳතා සහිත අනෙකුත් විශේෂ සමඟ සැසඳීමේදී පැහැදිලි රූප විද්‍යාත්මක සහ ජානමය වෙනස්කම් නිරීක්ෂණය වී තිබේ.

පරිසර විද්‍යාත්මකව වෙන්ව පිහිටි සහ ඉහළ ජෛව විවිධත්වයකින් යුත් දුම්බර කඳුවැටියෙන් අඛණ්ඩව මෙවැනි නව සොයාගැනීම් සිදු වීම තුළින්, එය ආවේණික සතුන්ගේ කේන්ද්‍රස්ථානයක් ලෙස පවතින වැදගත්කම තවදුරටත් මතුකර පෙන්වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කඳුකර පරිසර පද්ධතීන්, විශේෂයෙන්ම නිශ්චිත පාරිසරික තත්ත්වයන්ට හැඩගැසුණු කුඩා ක්ෂීරපායී සතුන්ගේ පරිණාමයට හා විවිධාංගීකරණයට බෙහෙවින් දායක වන බවට මෙමඟින් තවදුරටත් සාක්ෂි ලැබී ඇත.

මෙම සත්වයා ජීවත් වන සීමිත පරාසය සැලකිල්ලට ගනිමින්, උන්ගේ ගහණ තත්ත්වය, පාරිසරික අවශ්‍යතා සහ සංරක්ෂණ අවශ්‍යතා පිළිබඳ තවදුරටත් අධ්‍යයනයන් සිදු කළ යුතු බවට නිර්දේශ කර තිබේ.

මෙම නව සොයාගැනීම ශ්‍රී ලංකාව ලෝක ජෛව විවිධත්ව උණුසුම් කලාපයක් ලෙස අන්තර්ජාතිකව පිළිගැනීමට ලක්වීමට තවදුරටත් දායක වන අතර, දිවයිනේ කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව අඛණ්ඩව ජීව විද්‍යාත්මක සමීක්ෂණ පැවැත්වීමේ වැදගත්කම ද අවධාරණය කරයි.