July 22, 2026

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැඟව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු ලෙස නම්කර සිටි හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

මීට පෙර අධිකරණය මගින් නිකුත් කරන ලද නොතීසියකට අනුව සැකකාර හිටපු නාවික හමුදාපතිවරයා අද දින අධිකරණය හමුවේ පෙනීසිටියේය.

ඉදිරිපත් කරන ලද චෝදනා පත්‍රයට තමන් නිවැරදිකරු යැයි ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, සැකකරු රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේය.

අනතුරුව අදාළ නඩුව වැඩිදුර විභාගය සඳහා දෙසැම්බර් මස 09 වනදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය.