May 3, 2025

ජාතික ලොතරැයි මණ්ඩලයට අයත් රුපියල් ලක්ෂ 4කට ආසන්න වටිනාකමකින් යුත් ජංගම දුරකථනයක් සහ පරිගණක උපකරණ කිහිපයක් අනිසි ලෙස භාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර ඊයේ (02) නියෝග කළාය.

හල්ලොලුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අධිකරණය මීට පෙර නියෝගයක් නිකුත් කර තිබිණි.

කෙසේවෙතත්, නීතිඥ නියෝජනයක් හරහා පෙනී සිටීමෙන් පසු ඔහුට ඇප ලැබිණි.

සැකකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් ද මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ අතර, රුපියල් ලක්ෂ 2 බැගින් වූ පෞද්ගලික ඇප දෙකක් මත ඇප ලබා දුන්නාය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ, “ මගේ සේවාදායකයා 2019 දී සිය තනතුරෙන් ඉවත් වන විට එම ජංගම දුරකථනය සහ අනෙකුත් භාණ්ඩ ඔහු සමඟ රැගෙන ගොස් තිබුණා. ඔහුට පමණක් නෙවෙයි, එම කාලය තුළ මණ්ඩලයේ සේවය කළ අනෙකුත් අධ්‍යක්ෂවරුන්ට ද ඒ හා සමාන උපකරණ ලබා දී තිබෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලය විසින් ඔහුට ගෙවිය යුතු හිඟ මුදල් ඒවායේ ක්ෂය වූ වටිනාකම හරහා පියවා ගැනීම සඳහා අවබෝධතා ගිවිසුමක පියවරක් ලෙස ඔහු එම භාණ්ඩ රඳවා ගෙන තියෙන්නේ. මණ්ඩලයේ සහකාර සාමාන්‍යාධිකාරීවරයා කොටුව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව දැනගත් පසු, මගේ සේවාදායකයා ආයතනයේ ලේකම්වරයා වෙත ගොස් ඉතිරි රුපියල් 282,000 ගෙවීමට කැමැත්ත පළ කළා. කෙසේවෙතත්, ආයතනය අරමුදල් භාර ගැනීමට සූදානම් වුණේ නැහැ. , එම මුදල් මුදල් ඇණවුමක් හරහා යයොමු කෙරුණා. පසුව එය ආපසු හරවා එවා තිබුණා. මුදල් ඇණවුම තවමත් තැපැල් කාර්යාලය සතුව තිබෙනවා. මෙය ඇප ලබා දිය හැකි වරදක්. අධිකරණය සුදුසු යැයි සළකන ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිනවා .” යනුවෙන් අධිකරණය හමුවේ පැවසීය.

කෙසේවෙතත්, පොලිසිය වෙනුවෙන් පෙනී සිටි කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා තර්ක කළේ සැකකරු පරීක්ෂණවලට සහයෝගය නොදැක්වූ බවත්, එබැවින් ඇප ප්‍රතික්ෂේප කළ යුතු බවත්ය.

දෙපාර්ශ්වයේම තර්ක සළකා බැලීමෙන් පසු, ඇප ප්‍රතික්ෂේප කිරීමට ප්‍රමාණවත් හේතුවක් නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරිය, ඇප නියෝගය නිකුත් කරමින් නඩුව මැයි 30 වැනි දින නැවත කැඳවීමට නියම කළාය.