April 16, 2026

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු වූට්ලර් පැවසුවේ, කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත කත්‍රිආරච්චිගේ නිවස අද (16)පරීක්ෂා කළ අවස්ථාවේ ටී 56 මැගසින් දෙකක්, පතොරම් 221ට වැඩි ප්‍රමාණයක්, ජීව අත්බෝම්බ දෙකක් ඇතුළු ආයුධ සොයාගැනීමට හැකි වූ බවයි.

කත්‍රිආරච්චි සතුව අවි ආයුධ ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය කැස්බෑව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සෝදිසි වරෙන්තුවක් ලබාගෙන තිබිණි.

එහිදී T56 උණ්ඩ 221ක්, T56 මැගසින් 2ක්, 7.2 උණ්ඩ 31ක්, 0.2 උණ්ඩ 103ක් සහ ජීව අත්බෝම්බයක් සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබිණි.

‍අදාළ ජීව අත්බෝම්බය චෙකොස්ලෝවැකියාවේ නිෂ්පාදිත එකක් බව දැනට කරන ලද විමර්ශන මගින් අනාවරණ වී තිබේ.

ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම නිවසේ තවදුරටත් සෝදිසි කිරීම් සිදුකර ඇති අතර එහිදී ලියාපදිංචි ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි 2ක් සහ 9mm වර්ගයේ ගිනිඅවි 2ක් ද සොයාගැනීමට හැකිවී ඇත.

ඉන් එකක් චන්දන කත්‍රිආරච්චිගේ නමට ලියාපදිංචි කර ඇති අතර අනෙක් ගිනිඅවි 3 ඔහුගේ බිරිඳ නමට ලියාපදිංචි කර තිබූ බව අනාවරණ වී තිබේ.

කත්‍රිආරච්චි මෙතරම් ගිනිඅවි ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට හේතුව අනාවරණ කරගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කිරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.