September 10, 2026

බණ්ඩාරවෙල මහා නගර සභාවේ සිදුවූවා යැයි කියන මූල්‍ය වංචාවක් සහ ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනවලට සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහා නගර සභාවේ හිටපු නගරාධිපති ජනක නිශාන්ත රත්නායක අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (9) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

පොලිසිය සඳහන් කළේ, මෙම සිද්ධියට අදාළව මීට මාස කිහිපයකට පෙර අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මහනගර සභාවේ ආදායම් පරීක්ෂකවරුන් දෙදෙනකු සහ ලිපිකරු අංශයේ සේවකයන් කිහිපදෙනකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් සහ විමර්ශනවලින් අනතුරුව හිටපු නගරාධිපතිවරයා මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගත් හිටපු නගරාධිපතිවරයාගෙන් විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දැනට ප්‍රශ්න කරමින් සිටියි.

සැකකාර හිටපු නගරාධිපතිවරයා අද (10) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.