June 1, 2026

ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ විශේෂ හමුවකට එක්ව තිබේ.

එහිදී විදේශගත ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අමාත්‍යවරයා, වත්මන් රජය ක්‍රියාත්මක කරන සහ ඉදිරියට ගැනීමට නියමිත වැඩපිළිවෙළවල් පිළිබඳව ද ඔවුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

මෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ලද මෙම හමුව ස්ප්‍රින්ග්වේල් නගර ශාලාවේදී පැවැත්වුණු අතර, ඒ සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි බව අමාත්‍යවරයා සඳහන් කරයි.

මෙම සාකච්ඡාව හරහා මෙරට විදෙස්ගත ප්‍රජාව (ශ්‍රී ලාංකික ඩයස්පෝරාව) මුහුණදෙන ගැටලුවලට සවන් දීමට මෙන්ම, වත්මන් ආණ්ඩුව විසින් ගෙන ඇති ප්‍රගතිශීලී තීරණ සහ අනාගත සැලසුම් ඔවුන් වෙත පැහැදිලි කිරීමට හොඳ අවස්ථාවක් ලැබුණු බව ද විදේශ අමාත්‍යවරයා පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, විදේශගත ශ්‍රී ලාංකිකයන් වත්මන් රජය කෙරෙහි තබා ඇති විශ්වාසය අගය කරන බවත්, එම විශ්වාසය රැකගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවට සහතික වන බවත්ය.

මෙම ඉහළ සහභාගිත්වය තුළින් විදේශගත ශ්‍රී ලාංකිකයන් රටේ අනාගත ගමන කෙරෙහි දක්වන දැඩි උනන්දුව මැනවින් පිළිබිඹු වන බව ද හෙතෙම පෙන්වාදෙයි.

විදේශ අමාත්‍යවරයා මේ වන විට ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතව සිටින අතර, මෙම සංචාරය අතරතුර තවත් නිල වැඩසටහන් කිහිපයකටම සහභාගී වීමට නියමිතය.

එමෙන්ම ඉදිරි කාලය තුළ ඕස්ට්‍රේලියාවේ අනෙකුත් නගරවල වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ද හමුවීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.