July 19, 2026

අඹේවෙල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ දුම්රියකින් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කිරීමේදී ඉන් ඇදවැටීමෙන් විදේශීය සංචාරක කාන්තාවක් තුවාල ලබා ඇති බව දුම්රිය සහ රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙම අනතුර සිදුව ඇත්තේ නානුඔය සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියකදීය.

දුම්රියෙන් ඇදවැටීමෙන් තුවාල ලැබූ ඇය ප්‍රතිකාර සඳහා නුවරඑළිය මහරෝහලට ඇතුළත් කර තිබේ.

කඳුකරයේ සුන්දර දර්ශන නැරඹීමට පැමිණෙන සංචාරකයන් ඇතුළු මගීන්ගෙන්, ධාවනය වන දුම්රියන්ගෙන් පිටතට නොනැමෙන ලෙස හෝ සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ නොකරන ලෙස බලධාරීන් නැවත නැවතත් ඉල්ලා සිටී.

එවැනි නොසැලකිලිමත් ක්‍රියාවන් නිසා බරපතළ හෝ මාරාන්තික අනතුරු සිදුවිය හැකි බවට ද ඔවුහු අනතුරු අඟවති.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු ක්‍රියාත්මක වේ.